ජාතීන් අතර සුවපත් කිරීමේ ක්‍රියාවලියකට යා යුතු බවත් ඒ සම්බන්ධව රජය නිවැරදි මැදිහත් වීම සිදු කරන බවත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දසවැනි පාර්ලිමේන්තුව සඳහා පළමු රැස්වීම 2025.03.08 දින ඒ මහතාගේ සභාපතිත්වයෙන් පැවති අවස්ථාවේදී ය. ගරු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ද මෙම රැස්වීමට සහභාගී විය.
යාපනය වලිකාමම් උතුර ප්‍රදේශයේ ඉදිකර ඇති පන්සලක් සම්බන්ධයෙන් කාරක සභාවේදී විමසීමක් සිදු කෙරුණු අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එම ස්ථානය නිරීක්ෂණය සඳහා පැමිණෙන බවත් ඒ අනුව වඩා සාධාරණ මැදිහත් වීමක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
සෞදි රජයෙන් මෙරටට ත්‍යාගයක් ලෙස ලැබුණු රට ඉදි මෙට්‍රික් ටොන් 50 ක තොගය දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව පල්ලි දෙදහස් ගණනක් තුළ ඉතා සාධාරණව බෙදා දීමට මෙවර හැකි වූ බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. මීට පෙර මෙම රටඉදි බෙදා දීමේදී අක්‍රමිකතා සිදුවූ බවට තමාට වාර්තා වූ බවත් ඉතිහාසයේ ප්‍රථම වරට ඉතා සාධාරණව සහ විනිවිදබවකින් යුතුව මෙවර එම කටයුතු සිදු කිරීමට හැකි වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ සංස්කෘතික සංරක්ෂණය සහ ඉදිකිරීම් සඳහා පිහිටුවන ලද පෞද්ගලික සමාගමක, කැණීම් සංරක්ෂණ සහායක තනතුරෙහි සේවය කළ සේවක පිරිසකගේ සේවය අහිමි වීම නිසා ඔවුනට සාධාරණයක් කරන ලෙස ඉදිරිපත් කළ ඉල්ලීමක් පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. ඔවුන් තාවකාලිකව සේවයට ගත් පිරිසක් බව නිලධාරීහු මෙහිදී සඳහන් කළහ.
කෙසේවුවද ඔවුන් සේවයේ පිහිටුවා හිඟ වැටුප් ගෙවන ලෙස ලබාදුන් අධිකරණ තීන්දුවක් නිසා රු. මිලියන 55.9ක් මධ්‍යම සංස්කෘතික අරමුලට ගෙවීමට සිදුව ඇති බවත් එම තීරණය සම්බන්ධයෙන් මේ වන විට මධ්‍යම සංස්කෘතික අරමුදල රිට් ආඥාවක් ලබා ගෙන ඇති නිසා තාවකාලිකව මුදල් ගෙවීම නතර වී ඇති බවත් මෙහිදී අනාවරණය විය.
