Spread the love

පළාත් පාලන ඡන්ද විමසීමේදී කොට්ඨාස මට්ටමින් ජයග්‍රහණය කළ අපේක්ෂකයින් අතරින් 40%කගේ නම් මෙතෙක් තම කොමිසමට ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පළාත් පාලන ආයතනවල නිළ කාලය ආරම්භ කිරීමට පෙර සභිකයින් සංඛ්‍යාව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සිදුකළ යුතු බැවින්, අදාළ අපේක්ෂකයින්ගේ නම් කඩිනමින් යොමු කරන ලෙස එම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ.

ජුනි 02 වැනිදා සිට නව සභාවල ධුර කාලය ආරම්භ වන බවද, ඊට පෙර සභිකයින් සංඛ්‍යාව ගැසට් කිරීමේ වගකීම කොමිෂන් සභාව සතුව තිබෙන බවද ඔහු පවසුවේය.

නම් ලබා ගැනීමෙන් පසු, එම නම් ගැසට් කිරීමෙන් අනතුරුව, 50%ට අඩුවෙන් ජයගත් පළාත් පාලන ආයතන සඳහා සභාපති හා උප සභාපති පත්කර ගැනීම සඳහා අවශ්‍ය මූලික කටයුතු කිරීමට පළාත් පාලන කොමසාරිස්වරුන්ට හැකියාව ලැබෙන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.