Spread the love


නිමල් රාජපක්ෂ-.

වාහන විෂදුම නිසා දිනෙන් දින ඉහළ යන සෞඛ්‍ය, පාරිසරික හා දේශගුණික ගැටලු කළමනාකරණය කර ගැනීමට ක්‍රමෝපායන් රැසක් වාහන වායු විමෝචන භාරකාර අරමුදල මේ වන විටත් ක්‍රියාත්මක ඇති බැවින් අධික විෂ දුම පිට කරන වාහන පිළිබඳව සොයා බලා ඒ පිළිබඳ විධිමත් ක්‍රියාමාර්ග ගැනීම ට පොලිස් CCTV කැමරා යොදා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තව තීරණය කරයි .
මේ පිළිබදව සාකච්ජාවක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ, කොමසාරිස් තොරතුරු තාක්ෂණ, වාහන වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්‍යක්ෂක,නියෝජ්‍ය පොලිස්පති CCTV දිසාව භාර තුෂාර ගම්ලත් මහතා හා පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පිරිසක් අතර සිදුවුණි.

වාහන වායු විමෝචන භාරකාර අරමුදල අප රටට ඇති විශාල සම්පතක් වන බවත්, වාහන විෂදුම කළමනාකරණය කිරීම හා ඒ සම්බන්ධ කාර්යයන් උදෙසා පොලිස් දෙපාර්තමේන්තුව සතු CCTV දත්ත ලබා ගන්නවාට අමතරව එම CCTV කැමරා පද්ධතිය නවීකරණය හා තවත් පුළුල් කිරීමට අවශ්‍ය පූර්ණ සහය වාහන වායු විමෝචන භාරකාර අරමුදල හරහා ලබාදීමට ඉදිරියේදී කටයුතු සැලසුම් කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පැවසුවේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට පිවිසීමේ අවසරය පොලිස් දෙපාර්තමේන්තුව වෙත මීට ඉහත ලබා දී තිබූ අතර එය දත්ත පද්ධතිය නිරීක්ෂණය කිරීමට පමණක් සීමා වුණි. රියදුරන් සිදු කරන මාර්ග නීති කඩ කිරීම් සම්බන්ධව දඩ කොල නිකුත් කිරීම වැනි කාර්යයන් තවදුරටත් විධිමත් කරනු පිණිස මෙම දත්ත පද්ධතිය හරහා අවශ්‍ය කටයුතු කිරීමේ බලය ද පොලිස් දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබා දීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වුණි.

එසේම මාර්ග නීති කඩකිරීම් හා රථ වාහන සම්බන්ධ නිතිමය කටයුතුවලදී රථ වාහන පැවරීමේදී පැවරුම්ලාභියා සිදුකරන ප්‍රමාදයන් (open papers) තුළින් වර්තමාන අයිතිකරු නිවැරදිව හඳුනා ගැනීමේ ගැටලුවක් ඇතිවී ඇති බවත්, මෙම තත්ත්වයන් මඟ හරවා ගැනීමට මෙන්ම රජයට ලැබිය යුතු විශාල ආදායමක් අය කරගැනීම උදෙසා රථ වාහන පැවරීමේදීී පැවරුම්ලාභියා සිදුකරන ප්‍රමාදයන් අවම කිරීම උදෙසා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද පැවසුවේය.