Spread the love

නිමල් රාජපක්ෂ

  යුධ හමුදා සාමාජිකයන්ගේ යහපැවැත්ම සහතික කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ මඟපෙන්වීම මත රණක්‍ෂිතයටපත් රණවිරුවන් සඳහා පවත්වනු ලබන බහුවිධ වෛද්‍ය සායනයන්හි 6වන අදියර ඌව හා සබරගමුව පළාත්වල විවිධ හේතුන්මත රණක්‍ෂිතයටපත් රණවිරුවන් හා විශ්‍රාමික මෙන්ම ක්‍රියාන්විත හේතූන් මත මියගිය රණවිරුවන්ගේ ළගම ඥාතීන් ඇතුලුව 2000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසල දියතලාවේදී ඊයේ (30) පවත්වන ලදි.

රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් අධික්‍ෂණය කරනු ලැබු මෙම වෛද්‍ය කඳවුර තුළින් අඛණ්ඩව පවතින වෛද්‍ය ගැටළු තක්සේරු කිරීම හා ඒ සඳහා විසඳුම් ලබාදීම, වෘත්තීය සෞඛ්‍ය උපදේශන ලබාදිම, ජංගම අක්ෂි සායන,ජංගම වෛද්‍ය රසායානාගාර සේවය,භෞත චිකිත්සක සායන,කෘතිම අත් පා සහ ශල්‍ය උපකරණ සඳහා පරීක්‍ෂණ සිදුකිරීම, දන්ත වෛද්‍ය සේවාවන් සිදුකිරීමට කටයුතු සංවිධානය කර තිබූ අතර, මානසික සෞඛ්‍ය සඳහා උපදේශන සේවාවන් හා පෝෂණ විශේෂඥයින් විසින් ආහාර ලබාගැනීම සඳහා වන උපදෙස් ලබාදීමට ද එහිදී කටයුතු සිදුකර ඇත.

මෙහිදී රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා පමණක් නොව විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ ළගම ඥාතීන්ට මෙන්ම යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේද පවතින ගැටලු පිළිබඳ සොයා බැලීමට කටයුතු යොදන ලදි. යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ පූර්ණ අනුග්‍රහයෙන් රණක්ෂිතයටපත් රණවිරුවන්ට හා මියගිය රණවිරුවන්ගේ ලඟම ඥාතීන් වෙත රෝද පුටු, අත්වාරු සහ ඇස් කණ්නාඩි හා අනෙකුත් ශල්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමද මේ අවස්ථාවේදී සිදු කරන ලදි.