Spread the love

නිමල් රාජපක්ෂ

බටහිර, ආයුර්වේද, සිද්ධ, යුනානි ඇතුළු ව සමස්ත සෞඛ්‍ය පද්ධතිය වර්තමානයේ දී මෙහෙයවනු ලබන්නේ පුරවැසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගීමට බවත්, වත්මන් රජය පුරවැසියාගේ සෞඛ්‍ය ආරක්ෂණය, ප්‍රතිකාර ඇතුළු සෞඛ්‍ය වගකීම භාරගන්නා බවත්, පුරවැසියාට කැමති නම් ප්‍රතිකාර ගන්නා ක්‍රමය වෙනුවට, පුරවැසියා වෙනුවෙන් වග වන සේවාවක් බවට සෞඛ්‍ය සේවාව පත්කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේ ආයුර්වේද, සිද්ධ සහ යුනානි වෛද්‍ය උපාධිධාරීන් 160 දෙනෙකු සඳහා සීමාවාසික පුහුණු පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ය. පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පසුගිය දා මහරගම, නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතන ග්‍රවණාගාරයේ දී පැවැත්විණි.

සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස මේ වන විට මුලික අවධාරණය යොමුකර ඇත්තේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේදීත් ජනගහනය 10000 කට, ග්‍රාම නිලධාරී වසම් 4-5 කට, ජනතාවට කිලෝමීටර් 3කට වඩා අඩු දුරක දී ළඟාවිය හැකි සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ආරෝග්‍යා නමින් ආරම්භ කරන බවත්, එය සුවතා මධ්‍යස්ථානයක් බවත්, එහි වැඩිපුර ම අවධානය යොමු කරනුයේ ජනතාවගේ මනා සෞඛ්‍ය පැවැත්ම සඳහා බව ද එය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ම නොව බෝනොවන රෝග පාලනය කිරීම සඳහා අවශ්‍ය කරන විවිධ ක්‍රියාකාරකම් එහි සිදුකිරිමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.