Spread the love

නිමල් රාජපක්ෂ
කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා සිවිල් ගුවන් සේවා අධිකාරියේ (CAASL) නව අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වීමෙන් පසු නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු මහතා විසින් අදාල පත්වීම් ලිපිය කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා වෙත අද දින ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ දී ප්‍රදානය කරන ලදී.


ගුවන් සේවා ක්ෂේත්‍රයේ වසර 25කට වැඩි කාලයක් නියලෙමින් ලබා ගත් අත්දැකීම් මත රටට හා සිවිල් ගුවන් සේවාවට විශිෂ්ට සේවාවක් ලබා දී ඇති ගුවන් සේවා ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වූ කපිතාන් රඹුක්වැල්ල මහතා, ගුවන් නිරුපද්‍රිතා, ගුවන් ආරක්ෂාව, ගුවන් යානා මෙහෙයුම්, ගුවන් යානා යෝග්‍යතා, කාර්ය මණ්ඩල හා බලපත්‍ර, අනතුරු විමර්ශන, ආරක්ෂක කළමනාකරණ පද්ධති, නීති සැකසීම සහ නියාමන අනුකූලතාව යනාදිය විෂයන් පිළිබදව හසල දැනුමක් සහිතය.
මෙම පත්වීමට පෙර, ඔහු CAASL හි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ගුවන් නිරුපද්‍රතා රෙගුලාසි) ලෙස සහ ගුවන් මෙහෙයුම් අධ්‍යෂක (වැඩ බලන) ලෙස සේවය කළ අතර, එහිදී ඔහු ආදර්ශවත් නායකත්වයක් සහිතව නිවැරදී තීරණ ගැනීම සහ ඵලදායී පරිපාලන කුසලතා පෙන්නුම් කළේය. ඔහු CAASL හි ගුවන් ගමන් මෙහෙයුම් පරීක්ෂකවරයෙකු (ගුවන් යානා පියාසැරි මෙහෙයුම්) ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර, ජාත්‍යන්තර සහ දේශීය ගුවන් සේවා මෙහෙයුම් හරහා තීරණාත්මක වගකීම් මනා ලෙස පරිපුර්ණය කරමින් ඉන්ධන අර්බුදය අතරතුර ගුවන් යානා ඉන්ධන කළමනාකරණය, ජාතික වැඩ පිළිවෙලක් වු COVID-19 කාලයේ දී ඒ සදහා ප්‍රතිචාර දැක්වීම, අනතුරු විමර්ශන සහ අනෙකුත් ප්‍රධාන මෙහෙයුම් හදිසි අවස්ථා මනා කළමණාකරණයකින් හසුරුවා ඇත.
ඔහු Airline Transport Pilot License (ATPL) සහ Airbus A320 ඇතුලු අනෙකුත් ගුවන් යානා වර්ග කිහිපයකම නියමු බලපත්‍ර හිමිකරගනිමින්, ගුවන් පැය දහස් ගණනක් සම්පුර්ණ කළ දක්ෂ ගුවන් නියමුවකු ද වෙයි. ඔහු ගුවන් ගමන් අත්දැකීම් Cessna 150 යානයේ සිට Airbus A320 දක්වා හා MA 60, Y-12, Beechcraft 200 ඇතුලු අනෙකුත් ගුවන් යානා වර්ගවල වසර ගණනාවක් කාර්ය බහුල හා නිකැලැල් සේවා අත්දැකිම් සමුදායක සාඩම්බරකාර හිමිකරුවකු ද වන්නේය. ඔහු තම වෘත්තීය ජීවිතය පුරා ගුවන් මෙහෙයුම් පරීක්ෂකයෙකු, ගුවන් යානා අනතුරු විමර්ශකයෙකු, ගුවන් පුහුණු උපදේශකයකු, පරීක්ෂක නියමු, ප්‍රධාන පුහුණු හා ප්‍රමිතීන් පිළිබඳ තනතුරු උසුලමින් සහ ලද අතිමහත් දැනුමෙන් විශ්වවිද්‍යාල කිහිපයක කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කර ඇත.
එමෙන්ම දමින්ද මහතා එක්සත් රාජධානියේ University of Gloucestershire (UK) ශාස්ත්‍රපති උපාධියක්, කැලණිය විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් ලබා ඇත. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් මානව හිමිකම් සහ මානුෂීය නීතිය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇති අතර, ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂිත කළමනාකරණ පද්ධති (SMS) පිළිබඳ විශේෂිත පුහුණුවක් ලබා ඇත. ඔහු කොළඹ 04 ශාන්ත පීතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි, එමෙන්ම ඔහු තම විද්‍යාල සහ විශ්ව විද්‍යාල කාලවකවානු දෙකෙහිම දක්ෂ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කුසලතා පෙන්වා ඇත.
ජාත්‍යන්තර මට්ටමින් ඔහු ජත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (ICAO), යුරෝපීය ගුවන් නිරුපද්‍රිතා සංවිධානය (EASA) සහ ICAO ආසියා-පසිෆික් ගුවන් නිරුපද්‍රිතා ප්‍රදේශීය ආරක්ෂක කණ්ඩායම (APRAST) සමඟ සම්බන්ධ වී විශාල අත්දැකීම් ලබා ගෙන ඇති අතර, ICAO සම්මත තක්සේරුකිරීම්, ආරක්ෂක වැඩසටහන් සහ නියාමන සම්මුතියන් සඳහා දායක වී ඇත.