Spread the love

බස් රථයේ ගමන් ගත් මගියකුට පිටුපස දොරටුවෙන් පිටතට වැටෙන සේ පහරදුන් කොන්දොස්තරවරයෙක් නාරම්මල පොලිිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පහරදීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබ සිටි මෙම මගියා මිය යාමත්, මරණය මොළයට සිදුවූ බරපතළ තුවාල මත සිදුව ඇතැයි මරණ පරීක්ෂණයේදී හෙළිවීමත් මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට අධිකරණය පිළිගැනීමත් මත සැකකාර කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කළුගමුව, රත්මල්පොකුණ ප්‍රදේශයේ පදිංචි ඩී. චන්ද්‍රසිරි නමැති 52 හැවිරිදි පුද්ගලයකු වන අතර සැකකාර කොන්දොස්තරවරයා කළුගමුව රුස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් පොලිසිය සඳහන් කරයි.

මෙම සිදුවීම පසුගිය වසරේ නොවැම්බර් 12 වැනිදා නාරම්මල කුරුණෑගල මාර්ගයේ 09 කණුව අසලදී සිදුව ඇත.

කොන්දොස්තරවරයා හා මගියා අතර වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් දෙදෙනා අතර ගැටුමක් හටගෙන ඇතැයිද එයින් පහරකෑමට ලක්වූ මගියා බසයේ පිටුපස දොරින් ඇද වැටීමෙන් පසු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයිද ඒ අනුව දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලැබ ඔත්පල තත්ත්වයෙන් නිවසේ සිටි මෙම මගියා මියගොස් ඇතැයිද පොලිසිය පවසයි.