Spread the love

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රමුඛ වගකීමක් වන ඝන අපද්‍රව්‍ය යටතට ගැනෙන නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේ ආංශික හා උප ආංශික ප්‍රතිපත්ති සකස් කිරීම, ජාතික, පළාත් සහ පළාත් පාලන මට්ටම්වලදී ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැපයීම, සියලු පළාත් සභා සහ පළාත් පාලන ආයතන ආවරණය කරමින් මානව, මූල්‍ය සහ තාක්ෂණික සම්පත් සචලීකරණය සහ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා කාල නිශ්චිත ප්‍රධාන සැලසුම් සකස් කිරීම, කාර්ය සාධනය, අධීක්ෂණය සහ ඇගයීම යන කාර්‍යභාරය ඉටුකිරීම සඳහා අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ඝන අපද්‍රවය කළමනාකරණ මධ්‍යස්ථානය විසින් පාරිසරික තිරසරභාව‍ය තහවුරු කෙරෙන චක්‍රීය ආර්ථිකයක් නිර්මාණය කිරීමෙහිලා වැඩසටහන් හා ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරනු ලබන අතර ගංගා ඇළ දොළ ආශ්‍රිතව හා වෙරළබඩ තීරයේ පොලිතීන්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කලාප නිර්මාණය කිරීමටත්, කසළ කළමනාකරණයේදී යොදාගන්නා බලශක්ති ප්‍රභව බවට පරිවර්තනය කෙරෙන වැඩසටහන් දිරිමත් කිරීමටත්, අවිධිමත්ව පරිසරයට මුදා හැරෙන නොදිරන කසළ ප්‍රමාණය අවම කරගනිමින් කසළ කඳු නිර්මාණය වීම හැකිතාක් දුරකට වළක්වා ගනිමින් චක්‍රීය ආර්ථිකයක් නිර්මාණය කෙරෙන ප්‍රවේශයකට එළඹෙමින් 3R සංකල්පය ප්‍රචලිත කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කරනු ලැබේ.

ඒ අනුව ඉදිරි වසර 03 තුළ සනීපාරක්ෂක බිම් පිරවුම් වෙත යොමුවන අපද්‍රව්‍ය ප්‍රමාණය 30% කින් අවම කිරීම අරමුණු කරගනිමින් අපද්‍රව්‍ය කළමනාකරණයට පළාත් පාලන ආයතන සවිබලගැන්වීම උදෙසා ව්‍යාපෘතියක් Clean ශ්‍රී ලංකා වැඩසටහනේද සහාය ඇතිව ක්‍රියාත්මක වන අතර පළාත් නවයෙහිම වැඩිම නොදිරන කසළ ප්‍රමාණයක් ජනනය වන ස්ථාන 06ක් බැගින් මුළු දිවයිනේම ස්ථාන 54ක් තෝරාගෙන “ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන” (MRF) අලුතින් ඉදිකිරීම හා පවතින “ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන” වැඩි දියුණු කිරීම සිදු කරනු ලැබේ. ඒ වෙනුවෙන් මෙම වසර සඳහා රු. මිලියන 500ක් වෙන්වී ඇති අතර 2026 වසරේදී රු. මිලියන 700 ක හා 2027 වසරේදී රු. මිලියන 900 ක ප්‍රතිපාදන වෙන්කිරීමට සැලසුම් වී ඇත. ගොඩනැගිල්ලේ වහල මත සවිකෙරෙන සූර්ය පැනල මගින් පුනර්ජනනීය ව්දුලිබලය උත්පාදනය ද මෙම “ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන” ව්‍යාපෘතියට ඇතුලත් වේ.

ඒ යටතේ මෙම වසර තුළ මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ යන ප්‍රදේශයන්හි “ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන” 04ක් අලුතින් ඉදිකරනු ලබයි. එහි පළමු පියවර ලෙස කාත්තන්කුඩි ප්‍රදේශයේ ඉදිවන “ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය” සඳහා මුල් ගල තැබීමේ අවස්ථාව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් හා මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභූ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කාත්තන්කුඩි ප්‍රදේශයේ පිහිටි සාහා මැරීන් උත්සව ශාලාවේදී (Zaha Marine Banquet Hall) හා කාත්තන්කුඩි නගර සභාව විසින් පවත්වාගෙන යන කසළ කළමනාකරණ අංගනයේදී පැවැත්විණි

මෙහිදී නියෝජ්‍ය අමාත්‍යතුමා අදහස් දක්වමින් කියා සිටියේ,

“ජාතික ජන බලවේග රජය වැඩ කරන මිනිස්සුන්ගෙ පක්ෂ පාට බලන්නේ නෑ, මොන පක්ෂේ හිටියත් වැඩකරන කෙනාට සහයෝගය දෙනවා. එහෙම බැලුවා නම් මුලින්ම වැඩ ආරම්භ කරන්නේ කාත්තන්කුඩි නෙමෙයි. මගේ දිස්ත්‍රික්කේ අපේ පක්ෂය මුලින්ම ජයග්‍රහණය කරපු තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ ව්‍යාපෘතිය මුලට දාගන්න තිබ්බා. මීට කලින් තිබ්බ ආණ්ඩු එහෙම කරාට ගිය අවුරුද්දේ සැප්තැම්බර් 21 වෙනිදා ඔබ කරපු වෙනස නිසා ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් වුණා.” යනුවෙන්‍ ය.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසූවේ “මේ දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව දමිළ ජනතාව කොටස් දෙකම ජීවත් වෙනවා, ඔබේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දමිළ ජාතික, මේ දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා සිංහල ජාතික, ඒ සමගිය හොඳයි නේද? අනිත් පක්ෂ අකමැතිම මේ සිංහල දමිළ මුස්ලිම් සමගියටයි. අපි ආයේ මේ රටේ බෙදීම් ඇතිවෙන්න ඉඩ තියන්නේ නෑ, අපේ උවමනාව මේ රට හැදීමයි, ඔබ සියලුදෙනාමත් ඒ වෙනුවෙන් එක් වෙන්න.” ලෙසය.