නිමල් රාජපක්ෂ –
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව යාපනය ප්‍රදේශයේ ඊයේ (29) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සුදානම් කර තිබූ තහනම් ධීවර දැල් අටසිය පනස් හතක් (857) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර ගෙන ඇත.
නීත්‍යානුකූල මසුන් ඇල්ලීම ප්‍රවර්ධනය කිරීම සහ ධීවර ප්‍රජාවගේ ජීවනෝපායන් ආරක්ෂා කිරීමේ අරමුණින් නීති විරෝධී මසුන් ඇල්ලීම වැලැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර ආවේක්ෂණ සහ මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි.
ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව සහ ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතන විසින් යාපනය පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව යාපනය ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමේදි අදාල සැකකරුවන් කොටු කර ගැනීමට සමත්විය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25ක් හා 54ක් වන යාපනය කොට්ටඩි සහ චාවකච්චේරි යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, අදාල සැකකරුවන් සහ තහනම් ධීවර දැල් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදී ඇත.
