Spread the love

නිමල් රාජපක්ෂ –

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවේ ප්‍රථමික ශිල්පීය නොවන සේවා ගණයේ III ශ්‍රේණියේ තැපැල් සහයක තනතුරට 731 දෙනෙකු තෝරා ගෙන ඇති බැවින් ඹවුනට ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය ලබන සඳුදා (06) පෙරවරුවේ අරලියගහ මන්දිර පරිශ්‍රයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

2021 වර්ෂයෙන් පසු ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවට ස්ථිර තැපැල් සහයක බඳවාගැනීම් සිදුකර නොමැති අතර ඒ හේතුවෙන් පසුගිය වර්ෂය අවසානය වන විට තැපැල් දෙපාර්තුමේන්තුවේ තැපැල් සහයක පුරප්පාඩු 1982 ක් පැවතිණි.
එවන් පුරප්පාඩු සංඛ්‍යාවක් සමඟ දෙපාර්තුමේන්තුවේ කටයුතු පවත්වා ගෙන යාම දැඩි අර්බුධකාරී තත්වයක් මතු වු අතර එයට විසදුමක් ලෙස අදාළ පුරප්පාඩු සංඛ්‍යාවෙන් 1000 ක් බඳවා ගැනීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ඉල්ලීම පරිදි 2025 අගෝස්තු 19 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව මේ දක්වා තැපැල් දෙපාර්තුමේන්තුවේ ආදේශක සේවකයින් ලෙස ලියාපදිංචි වී සිටි නිසි සුදුසුකම් සම්පුර්ණ කළ පිරිස අතරින් ඉහත 731 දෙනෙකු මෙලෙස බඳවා ගැනීම සඳහා තෝරාගනු ලැබීය. තවත් තැපැල් සහයකයන් 269 දෙනෙකු ඉදිරියේ දී බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය මේ වන විටත් කටයුතු කරමින් සිටී.