නිමල් රාජපක්ෂ
“පොදු මගී ප්‍රවාහනය සුවපහසු කිරීමට නව රජයේ අයවැයෙන් රුපියල් මිලියන 3000 ක් වෙන්කරලා තිබෙනවා. ඒ යටතේ බස් මිලදී ගැනීම සඳහා මේ වනවිට ටෙන්ඩර් කැඳවලා තිබෙනවා. අපි සතුටු වෙනවා, මෙට්‍රො බස් සමාගම අලුතෙන් ආරම්භ කරද්දි, ලබාගන්නා බස්, අධ්යක්ෂ මණ්ඩලය, සේවක පිරිස් වගේම මගී ජනතාවත් නව අදහස් වලින් යුත් පිරිසක් වේවි. ලබන වසරේ මැද වනවිට මේ නව බස් රථ ජනතා සේවයට කැපකිරීමට හැකිවෙතැයි බලාපොරොත්තු වෙනවා. පිරිසිදු, සාධාරණ, මෙන්ම සුවපහසු මගී ප්‍රවාහන සේවයක් වෙනුවෙන් ජනතාවට විශාල බලාපොරොත්තුවක් මෙන්ම අවශ්‍යතාවක් තිබෙනවා. ඒ ජනතා සිහිනය ඉටු කරන්න තමයි අපි මේ සැරසෙන්නේ. ප්‍රථමයෙන් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කෙරෙන මේ මෙට්‍රෝ බස් සේවාව, සමස්ත රට තුළම ව්‍යාප්ත වේවි. ඕනෑම දෙයක් ආරම්භ කිරීමේදී විශාල කැපකිරීම් සිදු කිරීමට සිදුවෙනවා. නමුත් එහි ප්‍රතිඵල ඉතාමත් ලස්සනයි. පවුලට ලැබුණ අලුත් දරුවෙක් රැක බලාගන්නා ආකාරයෙන් සෑම කෙනෙක්ම මේ නව සේවාව ආරක්ෂා කරගනීවි යැයි බලාපොරොත්තු වෙනවා” යැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය, බිමල් රත්නායක මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ, අද (08) පෙරවරුවේ, බත්තරමුල්ල, සෙත්සිරිපාය දෙවන අදියර, 07 වන මහලේ පිහිටි ප්‍රවාහන අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි. ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ ස්ථාපිත කිරීමට නියමිත මෙට්‍රෝ බස් සමාගමේ ව්‍යාපෘති කාර්යාලය ආරම්භ කිරීමේ මෙම උත්සව අවස්ථාවට, ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය කපිල සී. පෙරේරා යන මහත්වරු සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු විශාල පිරිසක් සහභාගී වූහ.