නිමල් රාජපක්ෂ
ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ යාපනය විශේෂ කාර්ය බලකාය හා එක්ව, පසුගිය දෙසතිය තුල (2025 සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 07 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් හා පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ, බලපත්‍ර නොමැතිව ධීවර කටයුතු සිදුකළ සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් හතලිස් පස් දෙනෙකු (45) සමඟ ඩිංගි යාත්‍රා එකොලහක් (11) කැනොයි ඔරු දෙකක් (02) සහ කැබ් රථයක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, යාපනය නගර සීමාව සහ ත්‍රීකුණාමලය මලෛමුන්තාල්, කොක්කුතුඩුවායි, බෝල්ඩර් පොයින්ට්, කෝකිලායි, කදිරවේලි පොයින්ට්, පුඩුවකට්ටු, ෆාවුල් පොයින්ට්, ඔට්ටමාවඩි, ප්ලාන්ටන් පොයින්ට්, කල්කුඩා, කල්ලරාව වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, උතුරු සහ නැගෙනහිර නාවික විධාන විසින් සිදුකළ මෙම මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් සමඟ ධීවර යාත්‍රා සහ කැබ් රථයක් මෙලෙස නීතියේ රැහැනට හසුකර ගැන්මට සමත්විය.
තවද, මෙම මෙහෙයුම් මඟින් නීතියේ රැහැනට හසුකර ගත් සැකකරුවන්, තහනම් ධිවර ආම්පන්න, ධීවර යාත්‍රා සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය කින්නියා, මුලතිව්, කුච්චවේලි, ලංකාපටුන, කොඩ්බේ සහ මඩකලපුව ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත වෙත භාරදීමට පියවර ගෙන ඇත.