සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෝරලගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මා නැමති සැකකරු විසින් සිදුකර ඇති සංවිධානාත්මක අපරාධ, නීති විරෝධී ගිනිඅවි රැස්කිරීම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකර ගෙන යනු ලබයි.
විමර්ශනයේදී අනාවරණය වූ තොරතුරු මත 2025.02.19 වන දින කොළඹ අංක 05 ගරු මහේස්ත්‍රාත් අධිකරණයේදී නීතිඥවරයෙකු ලෙස පෙනී සිටි සැකකරුවෙකු විසින් අධිකරණ ශාලාවට ඇතුලු වී එම අධිකරණයේ නඩුවක් සඳහා බන්ධානාගාරය මගින් ඉදිරිපත් කර සිටි සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව නැමැති අයට වෙඩි තබා ඝාතනය කරන ලදී.
මෙම අපරාධයේදී වෙඩික්කරුට නීතිඥවරයෙකු ලෙස පෙනී සිටිමින් අධිකරණ ශාලාවට ඇතුළු වීම සඳහා නීතිඥවරුන් පලඳින ටයි පටි 02ක්, රිවොල්වරය රහසිගතව සඟවා ගෙන යාමට අපරාධ නඩු විධාන සංග්‍රහය ඇතුළු අණපනත් සහිත පොත් දෙකක්, නීතිඥවරුන්ගේ වාහනයේ ප්‍රදර්ශණය කිරීමට භාවිතා කරනු ලබන අවසර පත්‍රයක්, නීතිඥ සංගමය මගින් නිකුත් කල නීතිඥ හැඳුනුම්පතක් ලබා දී එම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකාර නීතිඥවරියක් 2025.10.28 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 55ක් වන කඩවත ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මෙම සැකකාරිය පැය 72 ක කාලයක් රඳවා තබා ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.
