දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාගයන් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසයි.
ඒ අනුව ඉදිරි දින කිහිපයේ දී උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණය කළ බව ඇය සඳහන් කර සිටී.
විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ දිවයිනේ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිත පාසල් හා මහාමාර්ග ගංවතුරෙන්, පස්කඳු කඩාවැටීම් හේතුවෙන් අවහිර වී ඇති අතර පාසල් දරුවන්ගේ සහ කාර්ය මණ්ඩලවල අපහසුතාවය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවය.
ඒ අනුව දෙසැම්බර් 05 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය මෙලෙස දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
එමෙන්ම 12 ශ්‍රේණියේ සිසු සිසුවියන් වෙනුවෙන් දෙසැම්බර් 06 වැනිදා පැවැත්වීමට තිබූ සාමාන්‍ය තොරතුරු තාක්ෂණය විභාගය ද දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව මෙහිදී ඇය වැඩිදුරටත් පැවසුවාය.
පීඩාවන්ට සහ බාධාවන්ට ලක්ව මානසික පීඩනයෙන් සිටින මේ මොහොතේ දරුවන්ගේ සහ කාර්ය මණ්ඩලවල ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ඉන්දිකා ලියනගේ මහත්මිය වැඩිදුරටත් පැවසීය.
නමුත් මෙම විභාග ද්විත්වයම, ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් වූ වහාම පැවැත්වීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරිය මෙහිදී සඳහන් කර සිටියාය.
එමෙන්ම උසස් පෙළ විභාගය පවත්වන සංශෝධිත දිනයන් විභාග දෙපාර්තමේන්තුව මගින් ඉදිරියේ දී දැනුම් දෙන බව ද මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය සඳහන් කළාය.
