නිමල් රාජපක්ෂ
නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දිග ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර එකොලහක් (11) ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් අද උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදුකල විශේෂඥ පරීක්ෂාවේදී, එම උර තුල අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකසිය හැත්තෑ දෙකකට (172) අධික තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් විසි එකකට (21) කට අධික තොගයක් ඇති බවට තහවුරු විය.
එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය සඳහා ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාද එක්විය.
මෙම මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණයට එක්වූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන් අදහස් දක්වමින්, ‘මතින් තොර රටක් – නිරෝගී පුරවැසි දිවියක්’ යන රජයේ දැක්මට සමඟාමීව ක්‍රියාත්මක කර ඇති ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සියළුම බුද්ධි අංශ සැලැස්මක් සහිතව මත්ද්‍රව්‍ය වැටලීමේ ක්‍රියාන්විත මනා සංවිධානයකින් යුතුව සහ තීව්ර ලෙස දියත් කර ඇති බවත්, රටතුලට මත්ද්‍රව්‍ය රැගෙන එන ජාවාරම්කරුවන් හට ඒ සඳහා කිසිදු අවස්ථාවක් නොමැති බවත්, මෙම නිතී විරෝධී සහ සමාජ විනාශකාරි කටයුතු වලින් ජාවාරම්කරුවන් හට ඉවත්වන ලෙසත් අවධාරනය කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බහුදින ධිවර යාත්‍රාව, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකසිය හැත්තෑ දෙකකට (172) අධික තොගය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් විසි එකකට (21) කට අධික තොගය සමඟ සැකකරුවන් පස්දෙනා (05) ඉදිරි වැඩිදුර විමර්ශන හා නීතිමය පියවර සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
