දේවින්ද පිණිදිය
විගමනික ශ්‍රමිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වඩා කාර්යක්ෂම, වේගවත් සහ විශ්වාසනීය සේවාවක් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් Smart Call Center Complaint and Workflow System නමින් නව දුරකථන ඇමතුම් පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කර ඇත.
එය ජනගත කිරිම අද (01) වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා හා සජචාරක අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා අතින් සිදුකරන ලදි.
නිවැරදි, කාර්යක්ෂම හා සේවාලාභීන්ගේ අවශ්‍යතා ඉටුවන පරිදි පහසුවෙන් තොරතුරු ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් 2011 අගෝස්තු මාසයේදී 24 පැය ක්‍රියාත්මක වන ඇමතුම් මධ්‍යස්ථානය ස්ථාපනය කර ඇත.
සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම සේවාවන් සපයන මෙම 24/7 ඇමතුම් මධ්‍යස්ථානයට දිනකට සාමාන්‍යයෙන් ඇමතුම් 2,000ක් පමණ ලැබේ. ස්ථාවර දුරකථන, වට්ස්ඇප්, ඊමේල්, ෆැක්ස් සහ IMO වැනි සන්නිවේදන පහසුකම් වලින් සමන්විත මෙම මධ්‍යස්ථානය, එකවර ඇමතුම් නිලධාරීන් 9 දෙනකුට සේවා සැපයීමේ හැකියාව ඇති අතර, සේවා මුර 3ක් යටතේ දින 24 පැය පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
2025 ජනවාරි සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ මෙම ඇමතුම් මධ්‍යස්ථානයට ලැබී ඇති සමස්ත ඇමතුම් සංඛ්‍යාව 280,275ක් වන අතර, 2024 වසරේදී එම සංඛ්‍යාව 282,689ක් ලෙස වාර්තා වී ඇත.
24/7 ඇමතුම් මධ්‍යස්ථානය නව්‍යකරණය කිරීම
දිනකට 1,800 – 2,000 අතර ඇමතුම් ලැබෙන අතර, වර්තමානයේදී ඒ අතරින් 1,200 – 1,300 පමණ ඇමතුම්වලට පමණක් පිළිතුරු සැපයිය හැකි වේ. ඒ හේතුවෙන් දිනකට ඇමතුම් 700 – 800 පමණ ප්‍රමාණයක් ගිලිහී යාම සිදුවේ. නව පද්ධතිය හඳුන්වාදීමෙන් මෙම ගිලිහී යන ඇමතුම් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අවම කරගැනීමට අපේක්ෂා කර ඇත.
නව පද්ධතිය මගින් හඳුන්වා දෙන ප්‍රධාන පහසුකම්
- එකවර විශාල ඇමතුම් ප්‍රමාණයක් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම
- පුද්ගලයින් තිදෙනකු සමඟ ඇමතුම් සම්මන්ත්රණ පහසුකම (ඇමතුම්කරු, 24/7 ඇමතුම් මධ්‍යස්ථානයේ නියෝජිතයා සහ අදාල අංශය)
- IVR (අන්තර්ක්‍රියාකාරී හඬ ප්‍රතිචාර) හරහා ස්වයං සේවා තොරතුරු ලබාදීම
- ඇමතුම් පටිගත කිරීම සහ ඇමතුම් විස්තර පටිගත කිරීම (CDR)
- කාලය පදනම් කරගත් නිවේදන සහ ඇමතුම් මාර්ගගත කිරීම
- ලැබෙන ඇමතුම් සහ පැමිණිලි අදාල අංශ ප්‍රධානීන් වෙත මාර්ගගතව යොමු කිරීම හා දෛනික යාවත්කාලීන කිරීම
- SMS Integration
- WhatsApp Integration
මෙම නවීකරණය හරහා විගමනික ශ්‍රමිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට වඩා කාර්යක්ෂම, විශ්වාසනීය සහ පහසු සේවාවක් ලබාදීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අපේක්ෂා කරයි.මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ, සාමාන්‍යාධිකාරි ඩී.ඩී.පි සේනානායක යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.
