Spread the love

නිමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය මගින් 2026 නව වසරේ මුල් සතිය තුළදී ක්‍රියාත්මක කරන ලද විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස විදේශ රැකියා වංචාකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඩුබායි රාජ්‍යයේ කර්මාන්ත ශාලාවල සහයක රැකියා ලබාදෙන බවට ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකරමින්, කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව වංචනික අයුරින් බොරලැස්ගමුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය Order Solutions නම් ආයතනයක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ දින (2026.01.08) වැටලීම් කරන ලදී.

එම අවස්ථාවේ එහි තිබී ඩුබායි රාජ්‍යයේ රැකියා ගිවිසුම් 10ක්, අයදුම්කරුවන්ගේ පෝරම 27ක් හා අදාළ ලේඛන සකස් කළ පරිගණකයද නිළධාරීන් භාරයට ගත් අතර, සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු අද දින (1/9) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ අතර, ජපන් භාෂාව පුහුණු කරන ආයතනයක් ලෙස පවත්වාගෙන යමින් ජපානයේ රියදුරු රැකියා ලබාදීමට ෆේස්බුක් ඔස්සේ දැන්වීම් පළකළ සමුරායි ජැපනීස් ලැන්වේජ් සෙන්ටර් නම් ආයතනයක් වැටලීම් කර අදාළ ස්ථානය පවත්වාගෙන ගිය කාන්තාවන් දෙදෙනෙකු ඊයේ දින (1/8) විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මහරගම පාර, බොරලැස්ගමුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම ආයතනය පරීක්ෂා කිරීමේදී රජයේ පාසල්වල විදුහල්පතිවරුන්ගේ, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකුගේ, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ හා වෙනත් පුද්ගලික අධ්‍යාපන ආයතනවල නමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද නිල මුද්‍රා විශාල ප්‍රමාණයක්ද, වංචනික ලෙස සකස් කරන ලස අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සහතික පත්‍රද, අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විදුහල්පතිවරුන් වෙත පමණක් නිකුත් කරනු ලබන ශිෂ්‍ය කාර්ය වාර්තා 100 බැගින් අඩංගු රජයේ මුද්‍රණ පොත් 2ක්ද නිළධාරීන් භාරයට ගන්නා ලදී.

වැඩිදුර කරුණු සොයාබැලීමේදී මෙම ආයතනය මගින් ජපන් භාෂාව උගන්වා, අධ්‍යාපන සුදුසුකම් නොමැති අයට ව්‍යාජ ලේඛන සකසා ජපානයට යැවීමට කටයුතු කරන බව අනාවරණය වී තිබේ. මෙම ආයතනය පවත්වාගෙන ගිය කාන්තාවන්ගේ ඥාතියෙකු ජපානයේ සේවය කරන අතර, ඔහුගේ මාර්ගයෙන් මෙම රැකියා අවස්ථා ලබාදෙන බවද අනාවරණය වී ඇත.