දේවින්ද පිණිදිය
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව ඊයේ ( 12) දින රාත්‍රී කාලයේ, යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු (10) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ ඉන්දීය ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.
තවද, ගෙවීගිය 2025 වර්ෂයේදී නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සිදුකල මෙහෙයුම් මඟින් දේශීය ජල තීරය තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා හතලිස් හතරක් (44) සහ ඉනදීය ධීවරයින් තුන්සිය හතලිස් හය දෙනෙකු (346) නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති අතර, මෙරට සමුද්‍රීය පරිසරය සුරැකීම වෙනුවෙන් සහ දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව අඛණ්ඩව අනවසර ධීවර කටයුතු මැඩ පැවැත්වීමේ මෙහෙයුම් සිදුකරණු ලබයි.
