දූෂණ විරෝධී පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කර, ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට අදාළ නඩුකරය ලබන 23 වැනිදා කැඳවන ලෙස නියම කර තිබෙනවා.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකාර ප්‍රසන්න රණතුංග අධිකරණය හමුවේ පෙනී සිටි අතර, ඒ අවස්ථාවේදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරන බවයි.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාට පෞද්ගලික කටයුත්තක් සඳහා විදේශගතවීමට අවශ්‍යව තිබෙන බවත්, ඒ අනුව ඔහුට එරෙහිව අධිකරණය විසින් නිකුත් කර තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ ස්ථාවරය අධිකරණයට දැනුම් දෙන ලෙස එම කොමිසමේ නිලධාරීන්ට නියම කළා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අයත් ආයතනවල සේවකයින්ට වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් ඍජුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ලබා නොගෙන, තැරැව්කාර සමාගමක් මැදිහත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 47 කට අධික මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර, පසුව ඔහු ඇප මත මුදාහැර තිබෙනවා.
