Spread the love

පාරිභෝගිකයින්ට ගුණාත්මක භාණ්ඩ ද ගොවි ජනතාවට සාධාරණ මිලක් ද ව්‍යාපාරික ප්‍රජාවට නවීකරණය වූ පහසුකම් සපිරි වෙළඳ පරිශ්‍රයක් ද සහිත ජාතික මධ්‍යස්ථානයක් ලෙස පෑලියගොඩ නව මැනිං වෙළඳ පොල සංකීර්ණය පවත්වාගෙන යාමට සියලු පාර්ශව අන්‍යෝන්‍ය විශ්වාසයෙන් සහ වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත්, රටේ ජාතික ආර්ථිකයට සහ ආහාර සුරක්‍ෂිතතාවට ධනාත්මක දායකත්වයක් සපයන මෙම වෙළඳ සංකීර්ණයේ ස්ථාවර පැවැත්ම වෙනුවෙන් රාජ්‍ය යාන්ත්‍රණයේ පූර්ණ මැදිහත්වීම නොඅඩුව ලබා දෙන බවත් නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ප්‍රකාශ කලේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණයේ පවතින ගැටළු පිළිබඳ සොයා බැලීම වෙනුවෙන් එහි කේෂ්ත්‍ර පරීක්‍ෂාවක නියැලෙමින්, වෙළඳ සංගම් නියෝජිතයින් සහ ව්‍යාපාරිකයින් හමුවීමෙන් අනතුරුවය .

කොළඹ – පිටකොටුවේ පිහිටා තිබූ වසර සියයකටත් අධික පැරණි මැනිං තොග වෙළඳ පොලට විකල්පයක් ලෙස ගොවීන්, තොග වෙළඳුන් හා පාරිභෝගිකයින් අතර සාධාරණ හා විධිමත් වෙළඳ පද්ධතියක් ස්ථාපිත කිරීම අරමුණු කර ගනිමින් ඉදිකරන ලද පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණය එළවළු සහ පලතුරු තොග හා සිල්ලර වශයෙන් අලෙවි කිරීමට කඩකාමර දහසකට අධික සංඛ්‍යාවකින් සමන්විත පර්යන්ත දෙකකින් සයුක්තය.