Spread the love

නිමල් රාජපක්ෂ

උතුරු පළාතේ පැවැති යුදමය වාර්තාවරණය නිසා 1985දී වසාදැමූ පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත ඉදිකිරීමට ඊයෙ දින (22) පරන්තන් රසායනික කර්මාන්ත කලාපයේදී මුල්ගල් තැබීය.

1950 දශකයේ ආරම්භ කරන ලද ආරම්භක කර්මාන්තශාලා අතර, පරන්තන් රසායනික කර්මාන්ත ශාලාව 1954 දී උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පරන්තන් හි රජයේ රසායනික කර්මාන්ත ශාලාව ලෙස ආරම්භ කරන ලදී. මෙම කර්මාන්ත ශාලාව 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනත මගින් 1957 දී පරන්තන් රසායනික සංස්ථාව යන නාමය යටතේ ගෙන එන ලදී. 1985 වර්ෂයේ වසා දැමීමට පෙර මෙම කර්මාන්තශාලාව දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරමින් කෝස්ටික් සෝඩා, ද්‍රව ක්ලෝරීන් ප්‍රධාන නිෂ්පාදන ලෙස සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, සින්ක් ක්ලෝරයිඩ් සහ මේස ලුණු අතුරු නිෂ්පාදන ලෙස නිෂ්පාදනය කරන ලදි.

1987 අංක 23 දරන රාජ්‍ය සංස්ථා හෝ රජය සතු ව්‍යාපාර ආයතනයක් රාජ්‍ය සමාගම් පනතට පරිවර්තනය කිරීම යටතේ 1991 ජනවාරි 17 වන දින පොදු සීමිත වගකීම් සමාගමක් ලෙස පරන්තන් කෙමිකල්ස් සමාගම සංස්ථාගත කරන ලදී.

රුපියල් මිලියන 6900ක අයෝජනයකින් ඉදිවන මෙම කර්මාන්තශාලාව මාස 30කින් ඉදිකිරීමට නියමිත අතර මෙම කර්මාන්තශාලාවේ මඟින් දේශීය වෙළඳපොළ ඉල්ලීම සංතෘප්ත කිරීම සඳහා පොලි ඇලුමිනියම් ක්ලෝරයිඩ් (PAC) සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ල (HCL) නිෂ්පාදනය කිරීමට නියමිතය.

මෙම සමුළුවේ සමාරම්භක උළෙල ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරම් මහතා, මුදල් අමාත්‍යංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා, සී/ස පරන්තන් රසායනික සමාගමේ සභාපති සදානම්දම් නෙසරාජන් මහතා ඇතුළු රාජ්‍ය නිළධාරින් සහ සම්භාවනීය අමුත්තන්ගේ භාගීත්වයෙන් පැවැත්විණි.