Spread the love

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂම කරගනිමින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවයට වගවීම සහ ප්‍රතිළුල ලඟාකර ගැනීමේ දිශානතිය තහවුරුකරගැනීම අරමුණු කරගනිමින් 2026 වර්ෂය සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සියළුම ආයතන වල කාර්ය සාධන ගිවිසුම් අත්සන් කිරීම අද (03 දා) අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ මගපෙන්වීම යටතේ අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සංස්ථාපිත ආයතන, රාජ්‍ය සංස්ථා හා දෙපාර්තමේන්තුවල ප්‍රධානින් 28 දෙනෙක් හා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් හා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 9 දෙනෙක් අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සමග මෙලෙස කාර්ය සාධන ගිවිසුම් වලට එළඹෙන ලදී.
මෙලෙස වාර්ශිකව කාර්ය සාධන ගිවිසුම් වලට එළඹෙන ලංකාවේ එකම අමාත්‍යාංශය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය වන අතර අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ සංකල්පයකට අනුව 2023 වසරේදී ආරම්භකළ මෙම කාර්ය සාධන ගිවිසුම් වලට එළඹීම අඛණ්ඩව 4 වන වරටත් මෙම වසරේදීද ක්‍රියාත්මක කරන ලදී. කාර්ය සාධන ගිවිසුම් වලට එළඹ ඒ අනුව කටයුතු කළ ආයතන සියල්ලම පසුගිය වසර 3 තුළ ඉහළම කාර්යක්ෂමතාවක් පෙන්නුම් කිරීමට සමත්ව තිබෙයි.
මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කළේ, අමාත්‍යාංශය හා අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන සියල්ලටම පසුගිය වසර වලදී ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කිරිමට හැකියාවක් ලැබුනේ නිවරදිව KPI අනුගමනය කිරීමෙන් බවත් එවැනිම වූ ඉහළ කාර්ය සාධනයක් මෙම වසරේදීද සියලුම ආයතන වලින් බලාපොරොත්තු වන බවය. ලෝකයේ ශ්‍රේණිගතකිරීම් වල රටේ පිහිටි ස්ථානය තීරණය කරනු ලබන්නේ රාජ්‍ය නිලධාරීන් බව පැවසූ ඇය රාජ්‍ය සේවය තුළ ඩිජිටල්කරණයේ අවශ්‍යතාවය අවධාරණය කළාය. මෙම වසරේ සිට සෑම මාස තුනකට වරක්ම කාර්ය සාධන ගිවිසුම් ඇගයීම සිදුකරමින් එහි ඵලදායිතාව වඩාත් ඉහල නැංවීමට කටයුතු කරන බවද තිලකා ජයසුන්දර මහත්මිය මෙහිදී වැඩිදුරටත් පැවසුවාය.
මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ සියලුම අතිරේක ලේකම්වරුන්, අධ්‍යක්ෂ ජනරාල්වරු, අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතන වල ප්‍රධානීන්, අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.