Spread the love

​කොළඹ, 2026 පෙබරවාරි 17 – ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ පැවැති 39 වැනි සුරාජ්කුන්ඩ් (Surajkund Mela) ලෝක හස්ත කර්මාන්තකරුවන්ගේ ප්‍රදර්ශනයේදී රටවල් 53ක් අතරින් “හොඳම විදේශීය සම්මානය” දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ බතික් ශිල්පිනී ඉරේෂා චින්තනී ද සිල්වා මහත්මිය සමත්ව තිබේ.

​පසුගිය ජනවාරි 31 වැනිදා සිට පෙබරවාරි 15 වැනිදා දක්වා හරියානා හි පැවැති මෙම සුවිශේෂී ප්‍රදර්ශනය සඳහා ලොව පුරා විසිරී සිටින දක්ෂ හස්ත කර්මාන්තකරුවන් රැසක් සහභාගී වූහ. එහිදී ශ්‍රී ලාංකික බතික් කලාවේ විශිෂ්ටත්වය විදහා දක්වමින් ඉරේෂා චින්තනී මහත්මිය ඉදිරිපත් කළ නිර්මාණ ජාත්‍යන්තර ඇගයීමට ලක්වූ අතර, ඒ අනුව ඇය මෙම ගෞරවනීය සම්මානයෙන් පිදුම් ලැබුවාය.

​මෙම ජාත්‍යන්තර ජයග්‍රහණය ලබා මෙරටට පැමිණි ඉරේෂා චින්තනී ද සිල්වා මහත්මිය ඇතුළු පිරිස ඊයේ (16) දිවයිනට පැමිණි අතර, ඔවුන් පිළිගැනීම සඳහා ජාතික ශිල්ප සභාව සහ කර්මාන්ත අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

​දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ දක්ෂතා ජාත්‍යන්තර තලයට ගෙන යාමටත්, මෙරට බතික් කර්මාන්තයට නව ප්‍රබෝධයක් ලබා දීමටත් මෙම ජයග්‍රහණය මහත් පිටුවහලක් වනු ඇත.