Spread the love

උපතිස්ස පෙරේරා

අඩු ආදායම්ලාභී පවුල්වල පාසැල් හැරගිය තරුණ තරුණියන් වෘත්තිය පුහුණුවට යොමුකර රැකියාගත කිරීමේ රජයේ වැඩපිළිවෙල වන ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක Next Sri Lanka වැඩසටහනේ දෙවන අධියර 2026 වසර සදහා ආරම්භ වි තිබේ. 2026 වසර තුළ මේ යටතේ තරුණ තරුණියන් 20000 ක් සඳහා රුපියල් පනස් දහසක උපරිමයකට යටත්ව වෘත්තිය පුහුණුව සඳහා මූල්‍ය ආධාර ලබා දීමට නියමිතය. රජයේ වෘත්තිය පුහුණු ආයතන වන NAITA හා VTA පුහුණු මධ්‍යස්ථානවලට අමතරව තෘතියික අධ්‍යාපන කොමිසමේ ලියාපදිංචිය ඇති NVQ Level 3 මට්ටමේ පාඨමාලා පවත්වාගෙන යන පෞද්ගලික අංශයේ පාඨමාලාවන් සඳහාද මේ යටතේ තරුණ තරුණියන්ට ලියාපදිංචි විය හැක. වැඩි විස්තර ග්‍රාම නිලධාරි වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරි වෙතින් ලබාගත හැක.

මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ඉහල යන රැකියා ඉල්ලුම සම්පූර්ණ කිරීමේ අරමුණ ඇතිව මෙම තරුණ පිරිසෙන් වැඩි ප්‍රමාණයක් සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ පුහුණු පාඨමාලා වෙත යොමු කිරීමේ අරමුණින් මේ වනවිටත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා හෝටල් කළමනාකරණ හා සංචාරක ආයතනය සමග ගිවිසුම් ගතවී සිටින අතර ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ පිළබඳ සාකච්ඡාවක් ඊයේ (24) දින අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පවත්වන ලදී. මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපති ධීර හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.