Spread the love

නිමල් රාජපක්ෂ

රාජ්‍ය සේවයේ කඩා වැටීම අවුරුදු ගණනාවක සිට සිදුවන බවත්, එයට හේතුව රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් නිවැරදිව සිදු නොවීම බවත්, ඒ අනුව ගැටලු නිරාකරණය කිරීමට සුදුසුකම් මත නිවැරදි ක්‍රමවේද අනුව රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සිදු කරමින් තිබෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

රජයේ මුද්‍රණාලය සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රී රවී කරුණානායක ඇසු ප්‍රශ්නයට පිළිතුරු ලබාදුන් අග්‍රාමාත්‍යතුමිය අද (05) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය,

ශ්‍රි ලංකා මුද්‍රණ සේවා ව්‍යවස්ථාවට අනුව අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරන දෙපාර්තමේන්තුගත නිලධාරීයෙක් මේවන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව තුළ නොමැති නිසා මුද්‍රණ දෙපාර්තමේන්තුවේ අවශ්‍ය කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යාමට රාජ්‍ය පරිපාලන සේවයේ විශේෂ⁣ ශ්‍රේණියේ සිටින සුදුසුකම් සහ අත්දැකීම් ඇති නිලධාරියෙක් අමාත්‍ය මණ්ඩල අණුමැතිය ඇතිව පත්කිරීමට කටයුතු කර තිබෙනවා.

රහස්‍ය සහ ආරක්ෂක මුද්‍රණ ආදියට සම්බන්ධ මාර්ගගතව සිදුකළ කිසිදු කාර්යයක් අඩු කර නැහැ. ඒ කටයුතුවල ගුණාත්මකභාවය, රහස්‍යභාවය සහ කාර්යය පටිපාටි මත කටයුතු කරගෙන යාමට රජය විශේෂයෙන් අවධානය යොමු කරමින් කටයුතු කරනවා. ඒ වගේම පුර්ණකාලීන නිලධාරියෙක් පත්කර ගැනීමේ කටයුතු සිදු කරමින් තිබෙනවා.

රාජ්‍ය සේවයේ කඩා වැටීම අවුරුදු ගණනාවක් තිස්සේ සිදු වුණා. ඒකට නිශ්චිත හේතුත් අපි දන්නවා. රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් නිවැරදිව සිදු නොවීම තමයි ප්‍රධාන හේතුව, රජයේ මුද්‍රණාලයට පමණක් නෙමෙයි ආයතන ගණනාවකට මේ නිසා ගැටලු මතුවෙලා තිබෙනවා. ඒ ගැටලු නිරාකරණය කිරීමට සුදුසුකම් මත නිවැරදි ක්‍රමවේද අනුව රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සිදු කරමින් තිබෙන බවද අග්‍රාමාත්‍යතුමිය පැවසීය.