Spread the love

.

නිමල් රාජපක්ෂ

බුදු දහමත් ඒ හා බැඳුණු බෞද්ධ සංස්කෘතියත් අනාදිමත් කාලයක සිට අපේ රටේ ජනතාවගේ ජීවිත, ශික්‍ෂණයක් සහිතව පවත්වාගෙන යාමට මාර්ගය පෙන්වා තිබෙන බවත් ඉපදුනු දිනයේ සිට මියයන දිනය දක්වා ජීවන ගමන පුරාවට ගමයි පන්සලයි තුලින් ලද සමීප බැඳීමේ පන්නරය රටේ යහපත් ඉදිරි ගමනට සුවිශාල දායකත්වයක් ලබාදී ඇති බවත් නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.

හෙතෙම මේ අදහස් පළකලේ ගොතටුව නව නගරය ශ්‍රී ඤාණවිමලාරාම විහාරස්ථානයේ රුපියල් ලක්‍ෂ 600 වියදමින් අභිනවයෙන් ඉදිකරනු ලබන නව දෙමහල් සංඝාවාසය සහ දාන ශාලාවෙහි මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍ය මහෝත්සවයට අද දින (2026.03.08) සහභාගි වෙමිනි. දිවයිනේ සතර දිශාවෙන් වැඩම කරනු ලබන ආර්ය මහා සංඝරත්නය විෂයයෙහි පරිභෝජනය උදෙසා ඉදිකරනු ලබන මෙම සංඝාවාසය සහ දාන ශාලාවට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍ය මහෝත්සවය සෙත් පිරිත් සඣායනා මධ්‍යයේ එරංග ගුණසේකර නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු ගිහි පැවිදි ප්‍රභූවරුන් විසින් පෙ.ව. 9.38 ට යෙදුණු සුභ මුහුර්තියෙන් මුල්ගල තැබීම සිදුකෙරිණ.

මෙම ශාසනික කර්තව්‍ය ගොතටුව ශ්‍රී ඤාණවිමලාරාම විහාරාධිපති අතිපූජ්‍ය මහර ධම්මදස්සි හිමිපාණන් වහන්සේගේ සහ විහාරාධිකාරි, ශාස්ත්‍රපති, පූජ්‍ය මොරහේනේ ඉන්දරතන හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, මාලඹේ, තුසිතපුර අශෝකාරාමය සහ ඔබේසේකරපුර අභිනවාරාමය ඇතුළු විහාරගණයේ අධිපති, අමරපුර සිරි සද්ධම්මවංශ මහානිකායේ අනුනායක ධූරන්දර, සිරිශාසනවංශාලංකාර චන්ද්‍රකීර්ති ශ්‍රී උපාධ්‍යාය, ආචාර්ය, අතිපූජ්‍ය දිමියාවේ අමරවංශ හිමිපාණන් වහන්සේ ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙනි.

.