මහල් නිවාස සංකීර්ණවල පදිංචි අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් සහ දෛනික ජන ජීවිතය උසස් කිරීමේ අරමුණ පෙරදැරිව ‘Metro Uplift’ ජාතික වැඩසටහන පසුගියදා ආරම්භ කෙරිණ. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඉදිකර ඇති නිවාස සංකීර්ණ 24 හි නිවාස ඒකක 14,714 ක් ඉදිකර ඇති අතර එම සියලු නිවාස ඒකක ආවරණය වන පරිදි ‘Metro Uplift’ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව කොළඹ 14, සිරිමාවෝ බණ්ඩාරනායක මාවත පිහිටි ‘සිරිමුතු උයන’ නිවාස සංකීර්ණයේ ‘Metro Uplift’ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබද මහල් නිවාස කමිටු සාමාජිකයින් දැනුම්වත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් අද දින (2026.04.07) සෙත්සිරිපාය, 11 වන මහලේ පිහිටි ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. ඒ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි.
‘සිරිමුතු උයන’ නිවාස සංකීර්ණය නිවාස ඒකක 546 කින් සමන්විතය. ‘Metro Uplift’ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 300 කට ආසන්න වියදමින් මෙම නිවාස සංකීර්ණයේ හානිවූ විදුලි සෝපාන අලුත්වැඩියා කිරීම, දෝෂ සහිත ගිනි නිවන උපකරණ අලුත්වැඩියා කිරීම, වෙළඳසැල් සදහා විදුලි සහ ජල සම්බන්ධතා ලබාදීම, පොළොව ගිලා බැසීමට ලක්වූ ස්ථාන අලුත්වැඩියා කිරීම, අපද්‍රව්‍ය සහ මළ අපවහන නල මාර්ග සහ වැසි ජල අපවහන නල මාර්ග අලුත්වැඩියා කිරීම සහ ආරක්ෂිත මායිම් වැට ඉදිකිරීම යන ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට නියමිතය.
එමෙන්ම සමාජ සජීවීකරණ වැඩසටහන යටතේ ප්‍රජාමූල අනුකමිටු පිහිටුවීම හා බලගැන්වීම, පොදු දේපළ ආරක්ෂා කරගැනීම, කුඩා කණ්ඩායම් වැඩසටහන් (මූල්‍ය කළමනාකරණ), මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු ස්ථාපිත කිරීම, ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන්, අපද්‍රව්‍ය කළමනාකරණය හා පරිසර කමිටු ස්ථාපිත කිරීම, පූර්ව ළමාවිය සංවර්ධන වැඩසටහන්, තරුණ හා ළමා පෞරුෂ සංවර්ධන වැඩසටහන්, පුස්තකාල හා ප්‍රජා සම්පත් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම, අධ්‍යාපතින දැනුම්වත් කිරීමේ වැඩසටහන්, වෘත්තීය පුහුණු වැඩසටහන්, ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණුව ලබාදීම, ව්‍යවසායකයින් දැනුම්වත් කිරීමේ වැඩසටහන්, ව්‍යවසායකයින් සඳහා මූල්‍ය ණය පහසුකම්, ව්‍යවසායකයින් සඳහා වෙළඳපොළ හඳුන්වා දීම, සංස්කෘතික හා සෞන්දර්ය කුසලතා වැඩසටහන්, ආගමික හා ආධ්‍යාත්මික ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මීට අමතරව ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යංශය සමග ඒකාබද්ධව ස්ථිර සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ඉදිකිරීමටත් ආරක්ෂක සේවාවක් ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කර ඇත.
