Spread the love

නිමල් රාජපක්ෂ

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය සඳහා ගිලන් රථයක් ආකාරයට සකස් කරන ලද ETX වර්ගයේ නවීනතම විද්‍යුත් ත්‍රීරෝද රථයක් පරිත්‍යාග කිරීම ඊයේ (06) සිදුවිය.

CodeGen ව්‍යාපාරයට වසර 25 ක් සපිරීම නිමිත්තෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත CodeGen ආයතනයේ සභාපති වෛද්‍ය හර්ෂ සුභසිංහ මහතා විසින් මෙම නවීන විද්‍යුත් ත්‍රීරෝද රථය නිල වශයෙන් බාරදීම කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු සහ විකලාංග සේවා පරිශ්‍රයේ දී සිදූවිය.

මෙම නවීන විද්‍යුත් ත්‍රීරෝද රථයේ නවීනතම පහසුකම් සහ හදිසි අනතුරු රෝගී ප්‍රතිකාර ප්‍රවාහන සේවාවන් සඳහාම සකස් කර කර ඇති පහසුකම් පිළිබඳව CodeGen ආයතනයේ නිලධාරීන් මෙහිදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරිමට ද පියවර ගන්නා ලදි.

ETX යනු ශ්‍රී ලංකාවේ Vega Innovations සමාගමට අනුබද්ධ Elektrateq ආයතනය විසින් දේශීයව සැලසුම් කර නිෂ්පාදනය කරන ලද නවීනතම විද්‍යුත් ත්‍රීරෝද රථයකි.

රුපියල් ලක්ෂ 30 පමණ වටිනාකමකින් යුත් මෙම ETX නවීන ත්‍රීරෝද රථය එක් වරක් ආරෝපණය කිරීමෙන් (Full charge) කිලෝමීටර් 150ක පමණ දුරක් ධාවනය කළ හැකි අතර මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 70ක් පමණ වේ.

සාමාන්‍ය විදුලි පේනුවකින් (Standard plug) ආරෝපණය (Charging) කළ හැකි අතර, වේගවත් ආරෝපණ (Fast charging) තාක්ෂණය මඟින් පැයකට අඩු කාලයකදී 80% දක්වා ආරෝපණය කළ හැකි අතර, මෙහි දියර මඟින් සිසිල් කරන ලද (Liquid-cooled) ආරක්ෂිත LiFePO₄ බැටරි පද්ධතියක් භාවිතා වේ.

කිලෝමීටරයක් ධාවනය සඳහා වැය වන්නේ රුපියල් 5 – 7ක් වැනි ඉතා අඩු මුදලක් බවත් මෙහි වායුසමීකරණ (A/C) පද්ධතියක්, නවීන ශබ්ද පද්ධතියක් සහ ආරක්ෂිත දොරවල් 4ක් අඩංගු වන බව CodeGen ආයතනයේ නිලධාරීන් මෙහිදී වැඩිදුරටත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දැනුවත් කරන ලදි.

මෙම අවස්ථාවට හදිසි අනතූරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ සහ හදිසි අනතුරු අංශයේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩලය, CodeGen International ආයතනයේ නිර්මාතෘ, සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී (CEO) ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.