Spread the love

දේවින්ද පිණිදිය

මාලදිවයින් – ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ සහ  ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් අද (05) පස්වරුවේ කොළඹදී පැවැත්විණි.

මාලදිවයින් ආර්ථික සංවර්ධන, ප්‍රවාහන සහ වෙළෙඳ අමාත්‍යාංශය  විසින් සංවිධානය කරන ලද  මෙම හමුවට මාලදිවයිනේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෝ රැසක් එක්ව සිටියහ.

මාලදිවයින්- ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය ඇමතූ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සඳහන් කළේ අඩසියවසකට වඩා වැඩි දෙරටේ දේශපාලන විශ්වාසය, ජනතාව අතර සමීප සබඳතාව සහ සුහදත්වය මත ගොඩනැඟුණ මිත්‍රත්වය බහුවිධ සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් අඛණ්ඩව පවත්වා ගෙන යාම අපේක්ෂාව බවයි.

මාලදිවයින “ඉදිරියට යමින් සිටින ජාතියක්” බවත්, සංවර්ධිත, සියලු දෙනා ඇතුළත් කරගත් සහ තිරසාර ජාතියක් බවට පත්වීම මාලදිවයිනේ අරමුණ බවත් පෙන්වා දුන් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා තම රටෙහි සංවර්ධන ප්‍රවේශය ජනතා කේන්ද්‍රීය, තාක්ෂණය මගින් බලගන්වන සහ පාරිසරික සුරක්ෂිතතාව මත පදනම් වූ එකක් බවත් සඳහන් කළේය.

මාලදිවයින ඉන්දියන් සාගරයේ නැගී එන ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත වන බවත්, ජාත්‍යන්තර සමාගම්වලට තම රට කෙරෙහි ඇති විශ්වාසය මින් තහවුරු වන බවත් මෙහිදී සඳහන් කළ ජනාධිපති මුයිසු මහතා යටිතල පහසුකම්, ඩිජිටල් නවෝත්පාදන සහ ආහාර සුරක්ෂිතතාව යන ක්ෂේත්‍රවල ආයෝජනය කරමින් මාලදිවයින සමඟ අත්වැල් බැඳගන්නා ලෙස ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කළේය.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින ඓතිහාසික සබඳතාව නූතන ආර්ථික හවුල්කාරිත්වයක් දක්වා පරිවර්තනය කිරීමට කාලය එළඹ ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙහිදී ප්‍රකාශ කළාය.

2025 වසර අගභාගයේදී මෙරටට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව සහ ගෝලීය ආර්ථික අභියෝග හමුවේ වුවද, ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ වැඩිම වාර්ෂික සංචාරක පැමිණීම 2025 වසරේදී වාර්තා කළ බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

විශේෂයෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මාලදිවයින් රජය සහ ව්‍යාපාරික ප්‍රජාව ලබාදුන් ඇමරිකානු ඩොලර් මිලියන 3ක සහෝදරත්වයේ පරිත්‍යාගය දෙරටේ නොසැලෙන මිත්‍රත්වයට කදිම නිදසුනක් බව අග්‍රාමාත්‍යවරිය කෘතඥ පූර්වකව සිහිපත් කළාය.

2025 වසරේදී දෙරට අතර පැවති වෙළෙඳ පිරිවැටුම ඇමරිකානු ඩොලර් මිලියන 137ක් වුවද, එය සැබෑ විභවයට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතින බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය. මාලදිවයිනේ සංචාරක සහ ආගන්තුක සත්කාර අංශය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල 20,000කට අධික ශ්‍රී ලාංකික වෘත්තිකයන් පිරිසක් දැනට සේවය කරමින් එරට ආර්ථිකයට සක්‍රීය දායකත්වයක් ලබා දෙන බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

ආහාර නිෂ්පාදන සහ මත්ස්‍ය සැකසුම් යන ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර වෙළෙඳ සබඳතා තවදුරටත් පුළුල් කිරීමට රජය අපේක්ෂා කරන බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ ඉලක්කය කරා ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටින බවත් දකුණු ආසියාවේ ප්‍රධාන මූල්‍ය කේන්ද්‍රස්ථානය වන කොළඹ වරාය නගරය (Port City) තුළ මාලදිවයින් ආයෝජකයින්ට විශිෂ්ට අවස්ථා පවතින බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. තිරසාර ‘නිල් ආර්ථික’ ව්‍යාපෘති සහ ඩිජිටල් නවෝත්පාදන ආදී හවුල්කාරීත්වයන් මගින්  දෙරටේම ජනතාවට සෞභාග්‍යය උදාකර දීම ශ්‍රී ලංකා රජයේ අරමුණ බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මැතිතුමාගේ දැක්ම යටතේ මාලදිවයින හුදු සංචාරක ගමනාන්තයකින් ඔබ්බට ගිය, අනාගතයට සූදානම් විවිධාංගීකරණය වූ ආර්ථිකයක් කරා ගමන් කරමින් තිබෙන බව මාලදිවයිනේ ආර්ථික සංවර්ධන, ප්‍රවාහන සහ වෙළෙඳ අමාත්‍ය මොහොමඩ් සයීඩ් මහතා පෙන්වා දුන්නේය.