Spread the love

දේවින්ද පිණිදිය

ශ්‍රී ලාංකික ප්‍රජාවට සුවිශේෂී මෙහෙයක් ඉටු කරන ජාතික අක්ෂි බැංකුවට වසර 15 ක් සපිරීම සහ ලෝක තැලසීමියා දිනය පිළිබඳව වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද (07) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ (සුවසිරිපාය) ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

වසර 15 ක් සපිරෙන ජාතික අක්ෂි බැංකුව පසුගිය කාලය පුරා ඉටු කළ මෙහෙවර සහ ඉදිරියේදී මහජනතාව වෙනුවෙන් ලබාදෙන සේවා පිළිබඳවත්, ලෝක තැලසීමියා දිනය වෙනුවෙන් මැයි 08 වැනිදා මෙරට පැවැත්වෙන සැමරුම් උත්සවය මෙන්ම එදින සිදු කෙරෙන විශේෂ දැනුවත් කිරීමේ වැඩසහන්, තැලසිමියාව පිළිබඳව මහජනතාව දැනුවත් විය යුතු කරුණු පිළිබඳවත් ජනතාව හා මාධ්‍ය ආයතන දැනුවත්භාවය උදෙසා මෙම විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වන්නට යෙදුණු බව ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා පැවසීය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, ජාතික අක්ෂි බැංකුවේ වෛද්‍ය අධ්‍යක්ෂ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක, ජාතික අක්ෂි බැංකුවේ කළමනාකරු අනුරුද්ධ මාරසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම, රිඡ්වේ ආර්යා ළමා රෝහලේ රක්ත ව්‍යාදි වේදය පිලිබඳ විශේෂඥ වෛද්‍ය නිපුනිකා සේනාධීර, රාගම තැලසීමියා ප්‍රතිකාර ඒ්කකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී සෞම්‍යා වර්ණකුලසුරිය, ලංකා තැලසීමියා සංවිධානයේ සභාපති මධුෂ කුමාර යන මහත්මීන් අදහස් දක්වන ලදි.

ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමින් අක්ෂි සේවාව දිවයින පුරා ක්‍රියාත්මක බැවින් සියළු ජනතාවට ප්‍රශස්ත සේවාවක් සැපයෙන බව ද අත්‍යාවශ්‍ය විශේෂිත වූ ශල්‍යකර්ම වැනි අසාද්‍ය මට්ටමේ පසුවන රෝගීන් වෛද්‍ය නිර්දේශයක් මත පමණක් ජාතික අක්ෂි රෝහලට පැමිණීම ප්‍රමාණවත් බව අවධාරණය කරන ලදි. සෑම කාර්‍යයකටම අක්ෂි රෝහලට නොපැමිණෙන ලෙස ද පෙන්වා දෙන ලදි.

පාසැල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපනය අඩාලවීමට, ඉගෙනීමේ දුර්වලතාවයන් සඳහා ඇස් පෙනීමේ දුර්වලතා හේතු වී ඇති බවත්, මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය පාසැල් වෛද්‍ය පරීක්ෂණ යනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවද පැවැසීම එම පරීක්ෂණ සඳහා දරුවන් යොමු කිරිම මගින් අක්ෂි රෝග කළින් හඳුනාගත හැකි බවත්, එමගින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගත හැකි බවද පැවැසීය.

දරුවන් අක්ෂි රෝග කල් තියා හදුනා ගෙන ප්‍රතිකාර වලට යොමු නොවීම හේතුවෙන් වැඩිහිටි වියට පත්වන විට සංකූලතා මතුවිය හැකි බවත්, එය නිවැරදි කළ නොහැකි සංකූලතා තත්ත්වයට පත්විය හැකි බව ද පැවැසිය.