Spread the love

දේවින්ද පිණිදිය

ප්‍රාථමික සෞඛ්‍ය සේවාව (PHC) ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය යෝජනා සහ අනාගත ප්‍රතිසංස්කරණ පිළිබඳ සමාලෝචනයේ දී වැඩි අවධානයක්

මෙරට සෞඛ්‍ය පද්ධතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ මෙරට සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් මෙරටට පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම සිදූ කළ සමාලෝචනයට අදාළ වාර්තාව ඊයේ (06) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාශය වෙත ඉදිරිපත් කරන ලදී.

ඒ අනූව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් (Dr. Rajesh Sambhajirao Pandav) මහතා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී එම වාර්තාව නිල වශයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත පිළිගන්වනූ ලැබීය.

“Transforming Primary Health Care as the Foundation for Healthier Communities in Sri Lanka” එනම් “ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවන් සඳහා පදනම ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවාව පරිවර්තනය කිරීම” යනුවෙන් සමාලෝචන වාර්තාව හදුන්වා තිබුණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම පසුගිය අප්‍රේල මස 20 සිට 24 දින දක්වා මෙරට නිරීක්ෂණ චාරිකාව නිල සංචාරයක නිරත වෙමින් සමාලෝචන කටයුතු සිදු කරන ලද අතර, මෙම සමාලෝචනය අදියර දෙකක් යටතේ සිදු කෙරිණි.

මෙම සමාලෝචන කටයුතු අතරතුර, විශේෂඥ කණ්ඩායම සෞඛ්‍ය අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන් මෙන්ම විශේෂඥයින් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වන ලදි.

මීට අමතරව එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, සිවිල් සංවිධාන සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමඟ ද සාකච්ඡා කළ අතර, ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවයේ වර්තමාන තත්ත්වය, පවතින අභියෝග සහ එය ශක්තිමත් කිරීමේ අවස්ථා පිළිබඳව එහිදී අවධානය යොමු කෙරිණි.

මෙම වාර්තාවේ ප්‍රධාන අවධානයක් යොමු වන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” (Arogya Health and Wellness Centers) සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආයතන පිළිබඳවයි.