Spread the love

…මාලන් විතාන -.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, ජාතික විද්‍යා පදනම සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහය ඇතිව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි රජයේ පාසල්වල යොවුන් නව නිපැයුම් සමාජ සහ පාසල් විද්‍යා සංගම් පිහිටුවීමේ වැඩසටහන යටතේ නැගෙනහිර පළාතේ තෝරා ගත් පාසල් යොවුන් නව නිපැයුම් සමාජ (YIC) සහ පාසල් විද්‍යා සංගම් (SSS) 100 ක් නිල වශයෙන් ලියාපදිංචි කර පිහිටුවීම විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන ගේ ප්‍රධානත්වයෙන්, පසුගියදා නැගෙනහිර විශ්ව විද්‍යාලයට අනුබද්ධ ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතන ශ්‍රවණාගාරයයේදි පැවැත්විණි.


දිවයිනේ සමස්ත පාසල් පද්ධතිය තුළ දේශීය නවෝත්පාදන ක්‍රියාන්විතය බලගැන්වීමේ හා විද්‍යාව ප්‍රචලිත කිරීමේ වැඩසටහනේ පියවරක් ලෙස, පාසල් දූ දරුවන්ගේ යොවුන් නිර්මාණශීලීත්වය දිරි ගැන්වීම හා නව නිපැයුම් ප්‍රවර්ධනය උදෙසා මෙන්ම STEM අධ්‍යාපනය සඳහා උද්දීපනයක් ඇති කිරීම අරමුණු කර ගනිමින් පාසල් පද්ධතිය තුළ නවමු මුහුණුවරකින් නව නිපැයුම් සමාජ සහ පාසල් විද්‍යා සංගම් පිහිටුවීම සිදු කෙරේ. ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් යොවුන් නව නිපැයුම් සමාජ (YIC) මෙහෙයවනු ලබන අතර පාසල් විද්‍යා සංගම් (SSS) මෙහෙයවීම ජාතික විද්‍යා පදනම විසින් සිදුකරනු ලබයි

. ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක සහ පළාත් ආවරණය වන පරිදි මෙම පැසල් තෝරා ගෙන තිබේ.

මෙහි දී අදහස් දැක්වූ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මෙසේ පැවසීය.
“ලෝකය විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදනයන් හරහා වේගයෙන් ගමන් කරන කාලයක අපේ වටිනාම වත්කම වන පාසල් දරුවන් ප්‍රමුඛ තරුණ පරපුර සඳහා ආයෝජනය කිරීම අත්‍යවශ්‍ය බව රජය හදුනාගෙන තිබෙනවා. අප අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් පාසල් පද්ධතිය තුළ STEM අධ්‍යාපනය ප්‍රචලිත කිරීමට පුළුල් වැඩසටහනක් පාසල් විද්‍යා සමාජ හරහා ඉදිරියේ දී සිදු කරනවා.

ඊට අමතර පියවරක් ලෙස පාසල් පද්ධතිය තුළින් නිර්මාණශීලී දරුපරපුරක් බිහිකිරීමට යොවුන් නිපැයුම් සමාජ ස්ථාපිත කරනවා. යොවුන් නව නිපැයුම් සමාජ සහ පාසල් විද්‍යා සංගම් තුළින් ලෝකයේ නව ප්‍රවණතාවන්ට අනුගත වන විද්‍යා පර්යේෂණ හා නව නිපැයුම් බිහිකිරීමට ශිෂ්‍ය ප්‍රජාව දිරිගන්වනවා. හුදෙක් නව නිපැයුම්කරණයට පමණක් සීමා නොවී වාණිජමය අගය දක්වා මෙම පාසල් නව නිපැයුම් ඔසවා තැබීමට මගපෙන්වීම ලබා දීම අප අමාත්‍යාංශයේ අරමුණයි. ”