Spread the love

නිමල් රාජපක්ෂ

දුම්රිය නියාමකවරු පැය 48 ක වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇතැයි දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් ලේකම් රුක්මාල් බණ්ඩාර මහතා පවසයි.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය යටතේ සාමාන්‍ය දුම්රිය මෙහෙයුම් කටයුතු පමණක් නොව, රටේ අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වීම කෙරෙහිද බලපෑම් ඇති කළ හැකි බැවින්, එය සැහැල්ලුවෙන් නොසලකා හරින ලෙස අපි අවධාරණය කරමු. විශේෂයෙන්ම ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රවාහනය ද දුම්රිය මඟින් සිදු වන බැවින්, ඉන්ධන ප්‍රවාහනය අඩාල වීම හරහා ගුවන් සේවා ක්ෂේත්‍රයටද යම් බලපෑමක් ඇති වීමේ අවදානමක් පවතී.
වෘත්තීය ගැටලු විසඳීම සඳහා නිසි පරිපාලන ක්‍රමවේදයක්, සාකච්ඡා ක්‍රමවේදයක් සහ වගකීම් සහිත තීරණ ගැනීමක් අත්‍යවශ්‍ය වෙයි. යම් සිදුවීමක් හෝ පරිපාලන අසාර්ථකතාවක් හේතුවෙන් මෙවැනි තත්ත්වයක් ඇති වී ඇත්නම්, එය වහාම පරීක්ෂා කර, වරදක් සිදුවී ඇත්නම් එය නිවැරදි කිරීම බලධාරීන්ගේ වගකීමක් බව රුක්මාල් බණ්ඩාර මහතා පැවසුවේය
දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විටම බරපතළ පරිපාලන, සේවාමය සහ මෙහෙයුම් ගැටලු රැසකට මුහුණ දී සිටින අවස්ථාවක, අත්‍යවශ්‍ය ප්‍රවාහන සේවාවන් තවදුරටත් අඩාල වීම මගී ජනතාවට, රාජ්‍ය සේවාවන්ට සහ රටේ ආර්ථික ක්‍රියාකාරකම්වලට බරපතළ බලපෑමක් ඇති කළ හැකිය.

එබැවින්, අදාළ සියලු පාර්ශ්ව වගකීමෙන් කටයුතු කර, දුම්රිය සේවාවේ අත්‍යවශ්‍ය මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතුය. එසේම, වෘත්තීය ගැටලු විසඳීම සඳහා බලධාරීන් විසින් ප්‍රායෝගික, සාධාරණ සහ කල් නොදමන විසඳුම් ලබාදිය යුතු බව දුම්රිය නියාමක සංගමව අවධාරණය කරයි..