නිමල් රාජපක්ෂ
ඉදිරි වසර 2-4 තුළ ඩෙංගු රෝගය මෙරටින් මුළුමනින්ම තුරන් කිරීමේ ජාතික ඉලක්කයක්; ජුනි 15 සිට රටපුරා විශේෂ ඒකාබද්ධ මර්දන සතියක් ඇරඹේ!
ඉදිරි වසර දෙකත් හතරත් අතර කාලය තුළ ඩෙංගු රෝගය ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීම රජයේ ප්‍රධාන ජාතික ඉලක්කය බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජුනි 15 වනදා සිට 20 වනදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන “ඩෙංගු මර්දන ජාතික වැඩසටහන” පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වසර 20ක පමණ කාලයක සිට විවිධ මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කළද තවමත් ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට නොහැකි වී ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් මෙම දැවැන්ත කාර්යය තනිවම කළ නොහැකි බැවින්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මේ සඳහා සක්‍රීයව මැදිහත් වන බව ඔහු සඳහන් කළේය. ලෝකයේ සමහර රටවල් දැනටමත් ඩෙංගු වෛරසය සාර්ථකව තුරන් කර ඇති බැවින්, ශ්‍රී ලංකාවට ද සාමූහික උත්සාහයකින් එම ඉලක්කය කරා යා හැකි බව අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
කිසිදු මරණයක් සිදුනොවන තත්ත්වයට වගකීම රජයේ අරමුණයි
වර්තමානය වන විට ඩෙංගු රෝගය හේතුවෙන් සැලකිය යුතු මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇති බව කනගාටුවෙන් වුවද සිහිපත් කළ යුතු බව පැවසූ අමාත්‍යවරයා, රජයේ මීළඟ ප්‍රධාන අරමුණ කිසිදු මරණයක් සිදු නොවීමට වගබලා ගැනීම සහ කිසිදු පුරවැසියෙකුට රෝගය බෝවීමට ඉඩ නොතැබීම බව පැවසීය.
එළඹෙන ජුනි 15 වනදා සිට ක්‍රියාත්මක වන විශේෂ සතිය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා කියා සිටියේ, මෙම වැඩසටහන සතියකට හෝ මාසයකට සීමා නොවිය යුතු බවයි. වර්ෂා කාලයෙන් පසුව බොහෝ දෙනෙකුට මෙම අවදානම අමතක වී යන නමුත්, වර්ෂාව නැති කාලයේදීත් අඛණ්ඩව පරිශ්‍ර පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය වේ. මේ වන විටත් සියලුම පළාත් සභා, පළාත් පාලන ආයතන සහ අනෙකුත් රජයේ ආයතන වෙත තමන්ගේ පරිශ්‍ර පිරිසිදු කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් යුතුව ලිඛිත උපදෙස් ලබා දී ඇත. විශේෂයෙන්ම අත්හැර දමා ඇති ටයර් සහ ජලය රැඳෙන භාජන වැනි මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම කෙරෙහි දැඩි අවධානය යොමු කරන ලෙස හෙතෙම ඉල්ලා සිටියේය.
වත්මන් ඩෙංගු අවදානම බරපතළයි – නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්
මෙහිදී අදහස් දැක්වූ පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ප්‍රකාශ කළේ දිවයින පුරා ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ලබන ජුනි මස 15 වනදා සිට 20 වනදා දක්වා දින හයක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව යි.
වත්මන් ඩෙංගු තත්ත්වය පිළිබඳව සංඛ්‍යාලේඛන සහිතව කරුණු පැහැදිලි කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 39,000කට අධික පිරිසක් වාර්තා වී ඇති බව පැවසීය. එමෙන්ම ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගල මරණ 20කට අධික සංඛ්‍යාවක් සිදුව ඇති අතර, ඒ අතර වයස අවුරුදු 5ට සහ 10ට අඩු පාසල් දරුවන් ද සිටීම ඉතා බරපතළ මෙන්ම සංවේදී තත්ත්වයක් බව ඔහු පෙන්වා දුන්නේය. නිරිතදිග මෝසම් වැසි තත්ත්වයත් සමඟ අප්‍රේල්, මැයි සහ ජුනි මාසවලදී මෙම රෝගය වේගයෙන් පැතිර යන බවත්, මෙය වහාම පාලනය නොකළහොත් රටේ රෝහල් පද්ධතියට සහ සෞඛ්‍ය ක්ෂේත්රයට එය දරාගත නොහැකි වනු ඇති බවත් අමාත්‍යවරයා අනතුරු ඇඟවීය.
දින 6ක විශේෂ ඒකාබද්ධ මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ මෙසේ ය.
දිවයිනේ සමස්ත පළාත් පාලන ආයතන 341ම, සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පරිසර පොලිසිය ඒකාබද්ධව මෙම දින 6ක මෙහෙයුම දින අනුව ක්‍රියාත්මක කරන්නේ මෙසේය:
- ජුනි 15, 16 සහ 17 (සඳුදා, අඟහරුවාදා, බදාදා): නගර ප්‍රදේශ, අවහිර වූ කාණු පද්ධති, වෙළඳ සංකීර්ණ, ආගමික ස්ථාන සහ බස් නැවතුම්පොළ ඇතුළු සියලුම පොදු ස්ථාන පිරිසිදු කිරීම.
- ජුනි 18 (බ්‍රහස්පතින්දා): පාසල්, පෙර පාසල් සහ පෞද්ගලික උපකාරක පන්ති ඇතුළු සියලුම අධ්‍යාපන ආයතන පරිශ්‍ර පිරිසිදු කිරීම.
- ජුනි 19 (සිකුරාදා): සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙන්ම කර්මාන්තශාලා පරිශ්‍ර පිරිසිදු කිරීම.
- ජුනි 20 (සෙනසුරාදා): පෞද්ගලික නිවාස සහ නිවාස අවට පරිශ්‍රයන් පිරිසිදු කිරීම.
ඩෙංගු මර්දනය යනු එක් අමාත්‍යාංශයකට හෝ රජයට පමණක් තනිව කළ හැකි දෙයක් නොවන බැවින්, තම දරුවන්ගේ සහ තමන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා සියලුම පුරවැසියන් මෙම ජාතික වැඩසටහනට සක්‍රියව දායක විය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම විශේෂ මාධ්‍ය සාකච්ඡාව සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර, ශ්‍රී ලංකා පොලිස් පරිසර ආරක්ෂණ ඒකකයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් පෙරේරා සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ මදාරා නිශාන්ති යන මහත්ම මහත්මීන් ද සහභාගී වී සිටියහ.
