Spread the love

නිමල් රාජපක්ෂ –

අඩු ආදායම් ලාභී පවුල් වල සිටින වැඩිහිටි පුද්ගලයන් සඳහා රජයෙන් ලබාදෙන රුපියල් 5000ක දීමනාව කිසිදු ප්‍රමාදයකින් තොරව ලබා දෙන බව වැඩිහිටි පුද්ගලයන් සඳහා වන ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිදුම් මහතා පවසනවා.

අද (11) දින පෙරවරුවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශ පරිශ්‍රයේදි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ වැඩිහිටි දීමනාවට අදාලව ආකාර දෙකක් යටතේ ගෙවීම් සිදුකරන බවයි, ඒ අනූව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ අස්වැසුම ප්‍රතිලාභය ලබන පවුල් වල සිටින වැඩිහිටියන් සඳහා එම අස්වැසුම බැංකු ගිණුම් හරහා ගෙවීම් සිදුකරයි.

මැයි මාසයට අදාල ගේවීම් පසුගිය මැයි 29 වනදා සිදු කර ඇති බවත් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය නිළ වශයෙන් දැනුම්දී ඇති බව හා අස්වැසුම ගිණුම් නොමැති මෙන්ම ගිණුම් වල අඩුපාඩු හේතුවෙන් ගෙවීම් නොකෙරෙන අඩු ආදායම් ලාභී පවුල් වල වැඩිහිටි පුද්ගලයන් සඳහා තැපැල් කාර්යාල මගින් සෑම මසකම 15 වන දිනට ගෙවීම් සිදු කරන බවත්, මැයි මාසයට අදාල වැඩිහිටි දීමනාව ජුනි 15 දින සිට තැපැල් කාර්යාල හරහා ලබා ගැනීමට හැකියාව ඇති බවත් චතුර මිහිදුම් මහතා අවධාරණය කළා.

තවද දැනට තැපැල් කාර්යාල මගින් වැඩිහිටි දීමනාව ලබාගන්නා වැඩිහිටි පුද්ගලයන්ද ඉතා ඉක්මනින් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සමාජ දත්ත පද්ධතියට ඇතුලත් කර අස්වැසුම ගිණුම් හරහා ගෙවීම් සිදුකිරීමට අවශ්‍ය ක්‍රියාමර්ග ගෙන ඇති බවද ඒ මහතා සඳහන් කළා