..නිමල් රාජපක්ෂ.
දුම්කොළ භාවිතයෙන් සිදුවන සෞඛ්‍යමය සහ ආර්ථිකමය හානි පිළිබඳව ලෝකවාසීන් දැනුවත් කිරීමටත්, ඉන් සිදු වන මරණ අවම කිරීමටත් සෑම වර්ෂයකම මැයි මස 31 ලෝක දුම්කොළ විරෝධී දිනය (World No Tobacco Day) ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ප්‍රකාශයට පත් කර ඇත.
එම දිනය වෙනුවෙන් මෙරට පවත්වනු ලබන විශේෂ සැමරුම් උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් හෙට (15) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.
දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA), සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) එක්ව සහයෝගීතාවයෙන් මෙම විශේෂ සැමරුම් උත්සවය සංවිධානය කර ඇත.
“දුම්කොළ කර්මාන්තයේ කූඨ උපක්‍රම හෙළිදරව් කරමු – දුම්කොළ සහ නිකොටින් නිෂ්පාදනයන්ට එරෙහි වෙමු” යන්න මෙවර ලෝක දුම්කොළ විරෝධී දිනයේ තේමාව වේ.
දුම්කොළ හා නිකොටින්වලට ඇබ්බැහි වීමෙන් ශ්‍රී ලාංකික තරුණ පරම්පරාව ආරක්ෂා කිරීම සහ දුම්කොළ භාවිතයෙන් තොර පරම්පරාවක් පිළිබඳ දැක්ම ප්‍රවර්ධනයකර ඉදිරියට ගෙන යාම පිළිබදව මෙම ජාතික වැඩසටහනෙහි විශේෂ අවධානය යොමු කරනු ඇත.
දුම්වැටි හා දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතයේ මෙරට තතු හා භාවිතයේ නියම හානිය, ඇබ්බැහිකාරී චර්යා කළමනාකරණය හා එහි වැදගත්කම පිළිබඳවත්, සිගරට් හා දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන පුද්ගල කායික හා මානසික සුවතාවය කෙරෙහි සිදුකරන සෘජු බලපෑම් පිළිබඳවත් මෙහිදී අවධානය යොමුකරමින් කතිකාවතට ගැනීමට නියමිතය.
එමෙන්ම දුම්කොළ හා නිකොටින් කර්මාන්තය සිය නිෂ්පාදන හා අලෙවිකරණ ප්‍රවේශයන් නැවත සොයා ගැනීම අඛණ්ඩව සිදු කරන බැවින්, ළමුන් හා නව යොවුන් වියේ දරුවන් ආරක්ෂා කිරීම මහජන සෞඛ්‍යයේ තීරණාත්මක ප්‍රමුඛතාවයක් බවට පත්ව ඇති හෙයින් අනාගත පරම්පරාවන්ට නිකොටින් යැපීමෙන් හා දුම්කොළ ආශ්‍රිත හානිවලින් තොරව වර්ධනය විය හැකි බව සහතික කිරීම සඳහා දැනුවත්භාවය වැඩි කිරීම, බහුපාර්ශ්වික ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම සහ පාර්ශවකරුවන් බලමුලු ගැන්වීමත් මෙම වැඩසටහනේ ප්‍රමුඛ අරමුණක් වේ.
මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් යන මහත්වරුන් විශේෂ දේශණ පැවැත්වීමට නියමිතය.
