නිමල් රාජපක්ෂ-
එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුද හමුදා සහ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන්ට සුබපැතුම් එක් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (26) පෙරවරුවේ පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී එක් විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන වැඩිම භට කණ්ඩායම මෙය වන අතර ඔවුන්ට සුබපැතුම් එක් කිරීමට ජනාධිපතිවරයෙකු පැමිණි පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.
ලෝකයේ කොතැනක සිටියද පීඩාවට පත් ජනතාවගේ ආරක්ෂාව, ප්රජාතන්ත්රවාදය සහ මානව හිමිකම් සඳහා පෙනී සිටීමට සූදානම් හමුදාවක් ශ්‍රී ලංකාව සතු බව මෙමඟින් ලෝකයට කියාපාන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, එය රටට මහත් අභිමානයක් සහ ගෞරවයක් බව සඳහන් කළේය. එමෙන්ම අපිට ලෝකයේ පොහොසත්ම රට බවට පත්වීම අසීරු වුවද ලෝකයේ අභිමාවත් රටක් බවට පත්විය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
සාමසාධක මෙහෙයුම් සඳහා පිටත්ව යන සියලු දෙනා දෙවුර දරා සිටින්නේ රටේ අභිමානය බවත්, තම රාජකාරිය නිසි ලෙස ඉටු කරමින් රටේ අභිමානය සහ ගෞරවය ආරක්ෂා කිරීමට කැපවීම සියලු දෙනාගේ වගකීම බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වන විට හයිටි රාජ්‍යයේ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය සමනය කර එරට තුළ සාමය ස්ථාපිත කිරීමේ අරමුණින් එළැඹෙන අගෝස්තු මාසයේදී මෙම කණ්ඩායම හයිටි රාජ්‍යය වෙත පිටත් කර යැවීමට නියමිතව ඇත.
විවිධ රෙජිමේන්තුවලට අයත් යුද හමුදා භටපිරිස් 900ක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 189ක් සහ මෙරට හමුදා ඉතිහාසයේ පළමුවරට බිම්බෝම්බ සහ මර උගුල් නිෂ්ක්‍රීය කිරීම පිළිබඳ විශේෂ පුහුණුව ලත් යුද හමුදා කාන්තා සාමාජිකාවන් 43දෙනෙකු මීට ඇතුළත් වේ. මීට අමතරව, සන්නද්ධ රථ, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ‘යුනි බෆල්’ රථ මෙන්ම ජනාධිපති ආරක්ෂක අංශය වෙතින් ලබා දුන් විශේෂ වෙඩි නොවදින රථ 02ක්ද මෙම බළඇණිය වෙත ලබා දී ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
අපේ රටේ කීර්තිය සහ අභිමානය පෙරදැරි කරගෙන ලෝක සාමය වෙනුවෙන් ඉතාමත් වැදගත් රාජකාරියක් සඳහා ඔබ පිටත් වීමට සූදානම්ව සිටිනවා. මේ රාජකාරිය සඳහා ඔබ රටින් පිටත්ව යන්නේ අපේ රටේ අභිමානය දෙවුර මත තබාගෙන බව අපි විශ්වාස කරනවා.
සෑම විටම ඔබේ රාජකාරීයේදී රටේ ගෞරවය, අභිමානය ආරක්ෂා කර ගැනීමේ ප්‍රබල වගකීම ඔබට පැවරෙනවා. අපේ රට ජාත්‍යන්තර වශයෙන් ඉතාමත් කීර්තිමත්, අභිමානවත් රටක් බවට පරිවර්තනය කළ යුතුයි.
අපිට ලෝකයේ පොහොසත්ම රට බවට පත්වීම අසීරුයි. හැබැයි අපිට ලෝකයේ අභිමානවත් රටක් බවට පරිවර්තනය විය හැකියි. ඒ සඳහා අප විසින් සකස් කර ගත යුතු සහ ඉටුකර ගත යුතු කරුණු බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. එහිදී ආර්ථික වශයෙන් නොසැලී සිටින රාජ්‍යයක් අපි නිර්මාණය කළ යුතුයි. රටක් ආර්ථික වශයෙන් බිඳ වැටීමෙන් පසු එම රට පිළිබඳ තිබෙන ගෞරවය, අභිමානය සහ කීර්තිය ජාත්‍යන්තර වශයෙන් බිඳ වැටීමට ලක් වෙනවා. අපි ණය ගෙවා ගන්න බැරි රටක් නම් අපි ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත් වූ රටක් නම් අපේ අභිමානය බිඳ වැටුණු රාජ්‍යයක් බවට පත් වෙනවා. ඒ නිසා ආර්ථික වශයෙන් අපේ රට ශක්තිමත් රාජ්‍යයක් බවට පත් කරන්නේ කොහොමද යන්න අපේ එක අභියෝගයක් වෙනවා.
අද වන විට අපි ආර්ථිකයේ සැලකිය යුතු ජයග්‍රහණ කිහිපයක් ලබා තිබෙනවා. අපේ රට තුළ ඇති වන අභ්‍යන්තර කම්පනවලට එනම්, ගංවතුර, සුළිකුණාටු, වසංගත ආදී අභ්‍යන්තර කම්පනවලට අපේ ආර්ථිකයට ඔරොත්තු දිය හැකියි. පසුගිය නොවැම්බර්, දෙසැම්බර් කාලවකවානුව තුළ මෑත කාලයේ වැඩිම ආර්ථික බලපෑම ඇති කළ ස්වභාවික ව්‍යසනය වන දිට්වා සුළි කුණාටුව ඇති වුණා. එය අභ්‍යන්තර ගැටලුවක්. හැබැයි, එම අභ්‍යන්තර ප්‍රශ්නයට මුහුණ දීමට හැකියාවක් සහිත ආර්ථිකයක් අපි සතුව තිබුණා. ඒ නිසා අලුතින් මුදල් මුද්‍රණය නොකර, ණය ලබා ගන්නේ නැතිව දිට්වා සුළි කුණාටුවෙන් යළි නැගිටීමට රුපියල් කෝටි 50,000ක් වෙන් කිරීමට අපිට හැකියාව ලැබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ජනවාරි, පෙබරවාරි, මාර්තු යන කාර්තුව තුළ අපේ ආර්ථිකය නොසැලී 5.1ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගත්තා.
ඒ වගේම මැදපෙරදිග යුද තත්ත්වය සමග ඇතැම් අය අර්ථ නිරූපණය කරන්න පටන් ගත්තා අපේ රටේ ආර්ථිකය යළි නතර වෙයි කියලා. ඉන්ධන හිඟයක් ඇති වෙයි. විදුලි කප්පාදුවක් ඇති වෙයි, ආනයන සීමාවන් පැන වෙයි, වාහන ආනයනය නතර වෙයි ආදී සාධක විශාල ප්‍රමාණයක් සාකච්ඡාවට බඳුන් වුණා. මැදපෙරදිග යුද්ධය සමග අපි ජනතාවට සහන ලබා දීම සඳහා රුපියල් කෝටි 10,000ක් වෙන් කළා.
අභ්‍යන්තර වශයෙන් ඇති විය හැකි කම්පනයන්ට මුහුණ දිය හැකි ආර්ථිකයක් අපි මේ වන විට ගොඩනඟා තිබෙනවා. ඒ වගේම බාහිර වශයෙන් ඇතිවන කම්පනවලට අපි මුහුණ දෙන්නේ කොහොමද? ඒ වෙනුවෙන් උපායමාර්ගික සැලැස්මක් අවශ්‍ය වෙනවා. ඒ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් පියවර රැසක් ගෙන තිබෙනවා.
ඒ වගේම, රටක් අභිමානවත් රටක් බවට පත්වීමට නම් නීතියේ විධානයේ ආධිපත්‍යය නිසි ලෙස තහවුරු විය යුතුයි. ඒ නිසා නීතිය ඉදිරියේ සියලු දෙනා සමානයි කියන සංකල්පයට අපි පණ පොවනවා. වැරැද්දකදී සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක වෙනවා කියන විශ්වාසය සමාජය තුළ ඇති විය යුතුයි. ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව නීතියට ගරු කරන රාජ්‍යයක් කියන සංකල්පය ඇති විය යුතුයි. එම කාර්යභාරයේදී අපි දිගු පියවරක් තබා තිබෙන අතර නීතියට සියලු දෙනා යටත් රාජ්‍යයක් අපි ගොඩනඟමින් තිබෙනවා.
ඒ වගේම පුරවැසියන්ගේ නිදහස තහවුරු කළ යුතුයි. රටේ කිසිදු පුරවැසියෙක් පාලකයාට බියේ ජීවත් විය යුතු නැහැ. පාලකයාට යටත් වී රජ්‍යයක් ඉදිරියට යා නොහැකියි. පාලකයා ප්‍රශ්න කිරීමේ අයිතිය පුරවැසියාට තිබෙනවා. එවැනි නිදහස සහ මානව හිමිකම් සුරකින රාජ්‍යයක් අපි නිර්මාණය කළ යුතුයි. ලෝකය ඉදිරියේ අභිමානවත්, කීර්තිමත් රටක් ලෙස ඉදිරියට යාමේදී එය වැදගත් කාර්යයක්.
මේ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අපේ රට වෙනුවෙන් දිගුකාලීන විශිෂ්ට සේවාවක් ඉටු කර තිබෙනවා. ඇතැම් විට එම සේවාව පිළිබඳ ජාත්‍යන්තරවත්, දේශීයවත් යම් ප්‍රමාණයකට සැක මුසු තැන් තිබෙන බව වාර්තා වී තිබෙනවා. එහෙත් මම ඔබට කියන්න කැමතියි සාමාන්‍ය හමුදා සොල්දාදුවාගේ සිට හමුදාපතිවරයා දක්වාත්, පොලිස් කොස්තාපල්වරයාගේ සිට පොලිස්පතිවරයා දක්වාත් මේ රටේ ආරක්ෂාව වෙනුවෙන්, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්, රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් කුමන හෝ පියවරක් ගෙන තිබෙනවා නම් ඒ සෑම පියවරක්ම ආරක්ෂා කිරීමට අපි රජයක් ලෙස බැඳී සිටිනවා.
කිසිවෙක්, කොතැනකදී හෝ රටේ ආරක්ෂාව වෙනුවෙන්, ජනතාවගේ නිදහස වෙනුවෙන්, රජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් කාර්යයන් ඉටු කර තිබෙනවා නම් එම කාර්යයන්ට උරදුන් ඒ සියලු දෙනා ආරක්ෂා කිරීමේ වගකීමක් අපිට තිබෙනවා. හැබැයි ඒ හා සමාන ලෙසම හමුදාවන් සතුව තිබෙන කීර්තියද පසෙකලා හමුදාව සතුව තිබෙන වගකීම්ද පසෙකලා යම් කුඩා කණ්ඩායම්වල බල වුවමනා වෙනුවෙන් හමුදාවට උචිත නොවන දේ, අපේක්ෂා නොකරන දේ සිදු කර තිබෙනවා නම් හමුදාවේ කීර්තිය, වින්දිතයන්ගේ ආරක්ෂාව සහ රටේ අභිමානය වෙනුවෙන් අපි ඔවුන් පිළිබඳ ක්‍රියා කිරීමට සූදානම්.
පුද්ගලික පළිගැනීම් හෝ පුද්ගලික හඹා යාම් නොවේ. යම් කණ්ඩායමක බල වුවමනා වෙනුවෙන් හමුදාවේ ගෞරවය, වටිනාකම සහ රාජ්‍යය සහ ජනතාව කෙරෙහි බැඳීම අත්හැර වැඩකටයුතු කර තිබෙනවා නම්, හමුදාවේ ගෞරවය සහ කීර්තිය වෙනුවෙන්ම එය පරීක්ෂණ කර විභාග කර සමාජයට හෙළිදරවු කළ යුතුයි. ඒ අනුව තමයි අපේ ගෞරවය රඳා පවතින්නේ. සිදු වී ඇති අපරාධ වැලිවලට යට ගසා වැළලීමෙන් නොවෙයි.
අද ඔබ මේ පිටත්ව යන්නේ ඉතා බැරෑරුම් රාජකාරියක් වෙනුවෙන්. එක පසෙකින් එය අපේ රටට අභිමානයක් සහ කීර්තියක් ගෙනවිත් දෙනවා. හයිටි රාජ්‍යයේ ඇති වී තිබෙන ගැටුම් සමනය කරමින්, එම ජනතාවගේ මූලික අයිතිවාසිකම් තහවුරු කරමින් මැතිවරණයක් තුළින් එම ජනතාවට තමන්ගේ ශක්තිමත් පාලකයන් තෝරා ගැනීමට අවස්ථාව නිර්මාණය කළ යුතුයි. අද ඔවුන් අභ්‍යන්තර ගැටලුවකට මුහුණ දී තිබෙනවා. ඒ නිසා එම රටේ පුරවැසියන්ගේ නිදහස, ප්රජාතන්ත්රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට මැදිහත් වීමට සිදු වෙනවා. ඒ නිසා ඔබ අද පිටත්ව යන්නේ තවත් රටක පුරවැසියන්ගේ නිදහස, ප්රජාතන්ත්රවාදය සහ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහායි. එය රටක් ලෙස අපිට ආඩම්බරයක්. තවත් රටක පුරවැසියන්ගේ නිදහස, ප්රජාතන්ත්රවාදය, ජනතාවගේ අයිතිවාසිකම් සහ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔබ පිටත්ව යනවා. එය රටක් ලෙස අපි ලබා ගන්නා ගෞරවයක් සහ අභිමානයක්. ලෝකයේ කොතැනක සිටියත් පීඩාවට පත් ජනතාවගේ ආරක්ෂාව, ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් හමුදාවක් ශ්‍රී ලංකාව සතු බව ඔබ ලෝකයට කියා පානවා.
ඒ වගේම, ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් මුළුල්ලේ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවන්ට අනුබද්ධව වැඩ කර තිබෙනවා. ඒ සෑම අවස්ථාවකම කීර්තියක් ලබා තිබෙනවා. අද ඔබ පිටත්ව යන්නේ දිගුකාලයක් එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවන් තුළ ඉතාමත් විනය සහිතව කාර්යය නිසි පරිදි ඉටු කරන ලද රාජ්‍යයක ගෞරවය පෙරදැරි කරගෙනයි.
අතීතයේ ඔබේ සේවයේ නිරත වූ කණ්ඩායම් එම භූමිවලදී එම ගෞරවය ආරක්ෂා කර තිබෙනවා. මම සිතනවා ඔබ රටේ ගෞරවය පමණක් නොවෙයි ඔබේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ගෞරවයත් ආරක්ෂා කිරිමේ වගකීම ඔබට පැවරෙනවා.
රටේ අභිමානය, ඔබේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ ගෞරවය සහ ඔබේ දෙමාපියන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමේ වගකීම ඔබට පැවරෙනවා. ඔබගේ දෙමාපියන් තම දරුවා විනයක් සහිත රැකියාවකට එවා තිබෙනවා. ඔබ හැඳ සිටින මේ නිල ඇදුම අපේ රටේ අභිමානය සහ ගෞරවය නියෝජනය කරනවා. ඒ පිළිබඳ ඔබේ දෙමාපියන් ආඩම්බර වෙන බව මම දන්නවා.
ඒ වගේම ලංකා භූමියේ ඇති වූ යුද්ධයේදී වගේම ඇති වන ඕනෑම ව්‍යසනයකදී ඔබගේ කාර්යභාරය ප්‍රබලයි. ස්වභාවික ව්‍යසනයකදී පමණක් නොව ඇති වන ගැටුමකදී පවා අප විශ්වාස තබන්නේ ඔබ කෙරෙහියි. රටේ ඇති වන ඕනෑම ව්‍යසනයකදී එම ව්‍යසනයෙන් මිදීම සඳහා තම කාර්යය ඉටු කරන දරුවෙකු මේ දෙමාපියන් රටට දායාද කර තිබෙනවා. ඒ වගේම අද ඔබ වෙනත් රටක ජනතාවගේ ආරක්ෂාව, නිදහස, ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් තහවුරු කිරීම වෙනුවෙන් පිටත්ව යනවා. ඒ පිළිබඳවද ඔබේ දෙමාපියන් තුළ ඇත්තේ විශාල ගෞරවයක්. ඒ නිසා ඔබ පිටත්ව යන මේ අවස්ථාව අපි සියලු දෙනා තුළ ඔබ කෙරෙහි යළි යළි ගෞරවය සහ අභිමානය ඇති කරන අවස්ථාවක්.
ඔබ යන්නේ අපගේ ජාතික කොඩිය දෙවුර මත තබාගෙනයි. ඔබේ රාජකාරියේ සෑම පියවරකදීම මවුබිම සහ දෙමාපියන් ඔබ දෙස බලාගෙන සිටිනවා. ඒ නිසා තම වගකීම් නිසි ලෙස ඉටු කිරීමට ඔබ සියලුදෙනා කැප වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ, නාවික හමුදාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරු සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද, එක්සත් ජනපද තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති Jayne Howell,
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතොෂ් ජා යන මහත්ම මහත්මීහු සහ සාමසාධක සේවාව සඳහා පිටත්ව යන සාමාජිකයන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
