Spread the love

නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන “කොළඹටත් පොසොන්” ජාතික බාලදක්ෂ පොසොන් කලාපය 2026 අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ගේ ප්‍රධානත්වයෙන් ජූනි 28 දින කොළඹදී ආරම්භ විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව, ජනාධිපති ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සහ රාජ්‍ය හා පෞද්ගලික අංශවල දායකත්වයෙන් මෙම පොසොන් කලාපය සංවිධානය කර තිබේ.

කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරාධිපති, පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සහ පංචශීලයේ පිහිටුවීම සිදු කෙරුණු අතර, පොසොන් කලාපය විවෘත කිරීමේ සංදේශය අඩංගු මංජුසාව පිළිගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යතුමිය විසින් පොසොන් කලාපය නිල වශයෙන් විවෘත කරනු ලැබුවාය.

අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

බාලදක්ෂ ව්‍යාපාරය පාසල් පද්ධතිය තුළ තවදුරටත් ව්‍යාප්ත කිරීම අතිශය වැදගත් බවත්, මෙවැනි ආගමික හා සමාජීය වැඩසටහන් හරහා සමාජයට සිදුවන සේවය ද එතුමිය මෙහිදී බෙහෙවින් අගය කළාය.

මෙම පොසොන් කලාපය ජුනි මස 28 සහ 29 යන දෙදින තුළ පස්වරු 6.00 සිට අලුයම 1.00 දක්වා මහජනතාව සඳහා විවෘතව පවතී. ඒ අනුව කොළඹ 02, චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතේ ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථාන පරිශ්‍රය ඇතුළුව ලේක්හවුස් වටරවුමේ සිට ශ්‍රී ලංකා පොලිස් මූලස්ථාන වටරවුම දක්වා වූ සීමාව තුළ මෙම පොසොන් කලාපය ක්‍රියාත්මක වේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති රන්සිරි පෙරේරා, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර, ත්‍රිවිධ හමුදා සහ පොලිස් ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් රැසක් සහභාගී වූහ.