Spread the love

නිමල් රාජපක්ෂ-

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට 2026 වසරේ වෙන් කළ අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි 24 දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී විදෙස්ගත ශ්‍රමිකයන් සේවා කාලය අවසන් කර නැවත මෙරටට පැමිණීමෙන් අනතුරුව ඔවුන්ගේ ආයෝජන හා ව්‍යවසායකත්ව අවස්ථා සඳහා ඌණ උපයෝජිත රජයේ ඉඩම්, අවශ්‍ය යටිතල පහසුකම් සහ සේවා සමඟ ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

වැවිලි ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා අදාළ ආයතන ඒකාබද්ධ කිරීමේ කටයුතු කඩිනම් කිරීම, රාජ්‍ය ඉඩම් සම්බන්ධ ගිවිසුම් යාවත්කාලීන කිරීම සහ ඒ සඳහා ශක්තිමත් නීතිමය රාමුවක් සකස් කිරීම පිළිබඳව ද විශේෂ අවධානය යොමු කෙරිණි.

2026 අයවැය යටතේ ක්‍රියාත්මක වතු ඉඩම් වටමැනුම් වැඩසටහන, පොල් වගා සංවර්ධන හා රෝග පාලන වැඩසටහන්, කප්රුක අරමුදල, උතුරු පොල් ත්‍රිකෝණ ව්‍යාපෘතිය, කුඩා තේ වතු නැවත වගා කිරීම, තේ ගම්මාන 500 වැඩසටහන, රබර්, කජු, තල් හා කිතුල් සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනය කෙරිණි.

මලෛගම් ජනතාව වෙනුවෙන් ඉදිකෙරෙන නිවාස 10,000 ව්‍යාපෘතිය නියමිත කාලසීමාව තුළ අවසන් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළ අතර, විදේශ ආධාර හා ණය මත ක්‍රියාත්මක ව්‍යාපෘති කාර්යක්ෂමව ක්‍රියාත්මක කර ප්‍රතිපාදන ආපසු යාම වළක්වා ගැනීම සඳහා ද උපදෙස් ලබා දුන්නේය.

දිට්වා ආපදා තත්ත්වයෙන් හානියට පත් තේ, පොල් සහ රබර් වගා නැවත ස්ථාපිත කිරීමේ වැඩසටහන්වල ප්‍රගතිය, තේ පර්යේෂණ, කුඩා තේ වතු සංවර්ධනය සහ තේ ගම්මාන වැඩසටහන ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සමඟ ඒකාබද්ධ කර කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.

එමෙන්ම රාජ්‍ය වැවිලි සමාගම් කිහිපයක් පසුගිය වසරට සාපේක්ෂව ලාභදායීත්වය ඉහළ නංවාගෙන ඇති බවත්, පොල්, කජු සහ අනෙකුත් වැවිලි භෝගවල නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනය කෙරිණි.

ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ පාඨමාලා විශ්වවිද්‍යාල පද්ධතිය සමඟ ඒකාබද්ධ කිරීමේ හැකියාව සොයා බලන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.