Spread the love

නිමල් රාජපක්ෂ-

‘සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුමට සමගාමීව, සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැගීම සඳහා, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද දින (2026 ජූලි 27) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී ප්‍රතිඥා දුන් අතර, ඊට සමගාමීව නාවික හමුදාවේ සියළුම නාවික විධානයන්ට අයත් නෞකා සහ ආයතන තුල  රාජ්‍ය ප්‍රතිඥා දීම සිදු කෙරිණි.

පුරවැසි ආචාරධර්ම, සදාචාරාත්මක වටිනාකම් සහ යහපත් පාලන සංකල්ප තවදුරටත් ප්‍රවර්ධනය කරමින්, සමාජය පුරා සුපිළිපන් සංස්කෘතියක් ස්ථාපිත කර ‘ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ගොඩනැගීම මෙම ජාතික මෙහෙයුමේ මූලික අරමුණ වේ.

ඒ අනුව, එකමුතුකම, ආත්ම ශක්තිය, වගවීම, විශ්වාසය, නිවැරදි දැක්ම, අරපිරිමැස්ම, විනිවිදභාවය, සමානාත්මතාව, එකඟතාව සහ නිහතමානීකම යන පරමාදර්ශයන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින්, රාජ්‍ය ප්‍රතිපත්ති හා ජාතික අරමුණු සාර්ථක කර ගැනීම සඳහා නාවික හමුදාවේ සම්පත්, වෘත්තීය දැනුම සහ ශිල්පීය හැකියාවන් උපරිමයෙන් ලබා දීම සඳහා නාවික හමුදා සාමාජිකයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය මෙහිදී, ප්‍රතිඥා දීම සිදුකරන ලදි.

තවද, නාවික හමුදා මූලස්ථානයේදී පැවති මෙම ‘සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්’ සඳහා වන ප්‍රතිඥා දීමේ අවස්ථාවට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවින්ද්‍ර තිසේරා ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ ‍නිලධාරීන් සහ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් ඇතුළු සිවිල් සේවක මහත්ම මහත්මීන් පිරිසක් සහභාගීවී සිටියහ