මාලන් විතාන
දේශීය ඖෂධ නිෂ්පාදනය යනු හුදෙක් ආර්ථික අරමුණක් පමණක් නොව, එය රටේ ජාතික සෞඛ්‍ය ආරක්ෂණය (National Health Security) තහවුරු කරන ප්‍රධාන සාධකයක් බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ (Sri Lanka Pharmaceutical Manufacturers’ Association – SLPMA) වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ (27) කිංග්ස්බරි හෝටලයේදී පවත්වනු ලැබූ අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
ඉහළ ප්‍රාග්ධනයක්, දියුණු තාක්ෂණයක් සහ දැඩි ජාත්‍යන්තර ප්රමිතීන් අවශ්‍ය වන මෙම ක්ෂේත්රය තුළ වසර ගණනාවක් තිස්සේ දේශීය ව්‍යවසායකයින් සහ ආයෝජකයින් පෙන්වූ කැපවීම ද මෙහිදී ඇගයීමට ද ලක් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වැය කරන සෑම රුපියලක් ම මෙරට බදු ගෙවන ජනතාවගේ මුදල් බැවින්, සෑම ඖෂධ මිලදී ගැනීමේ තීරණයකදීම ඉහළ ම ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව රැකීමට රජය බැඳී සිටීන බව ද මෙහිදි පැවසීය.
දේශීය අවශ්‍යතා සපුරාලීමට පමණක් නොව, කලාපීය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ තවදුරටත් ආයෝජනය කිරීමට දේශීය හා විදේශීය ආයෝජකයින්ට මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා විවෘත ව ආරාධනා කළ අතර, රෝගීන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛතාව දෙමින්, ඖෂධ නිෂ්පාදකයින්ට ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව වෙනුවෙන් ප්රතිලාභ ලැබෙන විනිවිදභාවයෙන් යුතු, ස්ථාවර ප්‍රතිපත්තිමය වටපිටාවක් නිර්මාණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කැපවී සිටීන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ මෙවර ජාතික මහා සභා රැස්වීම “ජාතික අවශ්‍යතාවය පෙරදැරි කරගෙන ඉදිරියටම” (DRIVING THE NATIONAL CALL FORWARD) යන්න තේමා කර ගනිමින් පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ ඉදිරි වසර 02 ක කාලය සදහා නව සභාපති ලෙස පත් වු Morson Ltd කළමණාකාර අධ්යක්ෂ දිනේෂ් අතපත්තූ මහතා ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය මෙරට ඖෂධ ක්ෂේත්රයේ ස්වයංපෝෂිතභාවය සහ ගෝලීය තරඟකාරීත්වයට මුහුණදීම සඳහා වන ක්‍රමෝපායික සැලසුම ඉදිරියට ගෙනයාමේ ජාතික අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කරන ලදි.
1963 ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) මේ වනවිට බටහිර ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ ඉහළම ප්‍රමිතින් පවත්වාගෙන යන 100% දේශීය පුද්ගලික ඖෂධ නිෂ්පාදකයින් 25 දෙනෙකුගෙන් සමන්විත වේ. ඔවුන් විවිධ ඖෂධ වර්ග 300 කට වඩා නිෂ්පාදනය කරන අතර, දේශීය ඖෂධ වෙළඳපලින් 20% කට වැඩි ප්‍රමාණයක් හිමි කර ගෙන සිටී.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඖෂධ වෙළෙඳපොළේ වටිනාකම ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 600 ක් පමණ වන අතර, ඉන් 40%ක් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහාත් 60% ක් පෞද්ගලික අංශය හරහාත් උපයාගනු ලැබෙයි. 2015 වසරේ ජනවාරි මස සහතික කළ ප්රතිමිලදී ගැනීමේ ගිවිසුම (Guaranteed Buyback Agreement) හඳුන්වා දීමෙන් අනතුරුව, දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් රජය සිදු කරන මිලදී ගැනීමි ප්‍රමාණය 5% සිට 30% කට ආසන්න මට්ටමක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, ඒ හේතුවෙන් නවීන ඖෂධ නිෂ්පාදනවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 කට අධික ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හැකි වී ඇත.
මෙම අවස්ථාවට ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ * සභාපති නලීන් කන්නන්ගර, ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ නිලධාරින්, සාමාජිකයින්, දේශීය ඖෂධ නිෂ්පාදන ක්ෂෙත්රයේ ඉහළ නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
