Spread the love


නිමල් රාජපක්ෂ-

රුපියල් මිලියන 835 ක වියදමින් ඉදිකරන ලද කෑගල්ල නව ඩිපෝ සංකීර්ණය තුල ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලය (සබරගමුව), ශ්‍රී ලංගම රියදුරු අභ්‍යාස විද්‍යාලය, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ කෑගල්ල ශාඛාව, ශ්‍රවණාගාරය, ධාවන අංශය, නවීන පහසුකම් සහිත සේවක විවේකාගරය, ගිණුම් කාර්යාලය ඇතුළු පරිපාලන සංකීර්ණයකින් මෙන්ම වඩාත් ඉඩකඩ සහිත ආපන ශාලාවකින් ද බස් රථ වැඩි සංඛ්‍යාවක් ගාල් කිරීමට හැකි සුවිශාල රථගාලකින් ද සමන්විතය. එසේම ශ්‍රී ලංගම බස් රථ සඳහා ඉන්ධන සපයනු ලබන ඉන්ධන පිරවුම්හලක් ද මෙම ස්ථානයේ ස්ථාපිත අතර, නවීන පහසුකම් සහ උපකරණ සහිත බස් රථ අලුත්වැඩියා කිරීමේ කාර්මික අංගනයකින් ද සමන්විතයි

‘මගී ප්‍රවාහනයේ විශිෂ්ට සැපයුම්කරුවෙකු වීම’ දැක්ම කරගනිමින් පොදු ප්‍රවාහනයේ දැවැන්ත කාර්යභාරයක් ඉටුකරනු ලබන ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, මේ සමගම සිය ගමන් මගෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් වී ඇත.

*මෙම අවස්ථාවට එක්වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී සාගරිකා ගංගානි අතාවුද මිය අදහස් දක්වමින් :

‘කෑගල්ල නගරය විධිමත්ව සංවර්ධනය කිරීමට සැලසුම් කිරීමේදී එහි ඇති පැරණි, අවිධිමත් ඉදිකිරීම් නිසා යම් යම් අපහසුතාවයන්ට පත්වෙන්න සිද්ධවුණා. මෙම අවිධිමත්භාවය ඉවත් කිරීමේ පළමු අදියර විදියට තමයි බස් ඩිපෝව නව ස්ථානයක ස්ථාපිත කිරීම සිදුවුණේ.

මේක කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රවාහනය නැංවීමේ නැවුම් ආරම්භයක්. මේ ඉදිකිරීමට සමගාමීව මාර්ග පද්ධතිය පුළුල් වෙනවා. ජනතාවට වඩාත් පහසුවෙන් සේවා ලබාගත හැකි නගරයක් ලෙස කෑගල්ල නගරය සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. නගරයේ පවතින අවිධිමත්භාවය නිරාකරණය කරනවා. කෑගල්ල නගරයේ යෝධ සංවර්ධන වැඩපිළිවෙලේ ආරම්භය වශයෙන් මේ ඩිපෝ සංකීර්ණය නව ස්ථානයක ස්ථාපිත කිරීම හඳුන්වන්න පුළුවන්.’

ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් රාජපක්‍ෂ මහතා අදහස් දක්වමින් :
‘ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් සපයන සියලු සේවාවන් එකම ස්ථානයකින් ලබාගත හැකි ලෙස ඉදිකරන ලද මෙම නව ඩිපෝ සංකීර්ණය, ජනතාව ලැබූ ජයග්‍රහණයක්. පොදු ප්‍රවාහනය වර්ධනය කිරීම ගැන රටේ ජනතාව තුල අලුත් බලාපොරොත්තුවක් ඇතිවී තියෙනවා. ලාභ අපේක්‍ෂාවෙන් තොරව හැමෝටම සේවය කරේ ලංගම. ලංගම වටා ගොඩනැගුණු උප සංස්කෘතියක් තිබුණා. විවිධ වැරදි තීරණගත් උදවිය නිසා ඒ සංස්කෘතිය විනාශ වුණා.

අපි දැඩි වෙහෙසක් ගනිමින් හොඳ ආරම්භයක් ලංගමට දී තියෙනවා. ජනතාව සමග මනා අවබෝධයෙන් වැඩ කරමින් සිටිනවා. ජනතාව කලබල නැතිව රජයේ වැඩපිළිවෙල තේරුම් ගනිමින් සිටිනවා.’

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් කංචන වැලිපිටිය, කෑගල්ල නගර සභාවේ නගරාධිපති නිමල් කරුණාරත්න සහ කෑගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් රණසිංහ යන මහත්වරු ඇතුළු නාගරික සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, මන්ත්‍රීවරියන්, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස්. නිශාන්ත, කෑගල්ල ප්‍රාදේශීය ලේකම්තුමිය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සබරගමුව ප්‍රාදේශිකයේ ප්‍රධාන කලමනාකරු එන්.කේ.ඩී.එන්.බී. ඇල්ලවලතැන්න, කෑගල්ල ඩිපෝ කලමනාකරු එච්.ආර්.එල්. බණ්ඩාර, සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ සංවිධායක ලේකම් ජයන්ත කුමාර යන මහත්ම මහත්මීන් මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, කෑගල්ල නගර සභාව, කෑගල්ල ප්‍රාදේශීය සභාව ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරි මහත්ම මහත්මීහු සහ පෞද්ගලික ආයතන නියෝජනය කරමින් විශාල පිරිසක් ද එක්ව සිටියහ.