නිමල් රාජපක්ෂ-
පසුගිය අගෝස්තු 11 දින පැවැති බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී දිස්ත්‍රික්කයේ දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඒ සඳහා වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන පිළිබඳව විශේෂ සමාලෝචනයක් සිදු කෙරිණි. එහිදී අදහස් දැක්වූ බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 27,000කට අධික විශාල මුදලක් මේ වන විට වෙන් කර ඇති බවයි.
එම රැස්වීමේදී අනාවරණය වූ ප්‍රධාන සංඛ්‍යාත්මක දත්ත මෙසේය:
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා: ලැබී ඇති රුපියල් මිලියන 2,522.13 ක ප්‍රතිපාදන යොදවමින් සංවර්ධන ව්‍යාපෘති 1,265 ක් ක්‍රියාත්මක කෙරේ.
ඌව පළාත් සභාව හරහා: රුපියල් මිලියන 25,139.41 ක මුල්‍ය ප්‍රතිපාදන යටතේ ව්‍යාපෘති 4,695 ක් ක්‍රියාත්මක වේ.
ඒ අනුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ඌව පළාත් සභාව එක්ව බදුල්ල දිස්ත්‍රික්කය තුළ පමණක් රුපියල් මිලියන 27,661.51 ක සමස්ත ප්‍රතිපාදන මත මුළු ව්‍යාපෘති 5,960 ක් ක්‍රියාත්මක කරනු ලබයි. මීට අමතරව, වෙනත් රාජ්‍ය ආයතන හරහා ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති රැසක්ද දිස්ත්‍රික්කය තුළ දැනට පවතින බවත් ඒවා මෙම ගනනය කිරීම්වලට ඇතුළුත් වී නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
එමෙන්ම, රාජ්‍ය අංශයේ සංවර්ධන ව්‍යාපෘති මෙන්ම බදුල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන (NGO) මගින් සිදුකරනු ලබන ව්‍යාපෘති සහ ඒ සඳහා වැය කරන මුදල් පිළිබඳ නිවැරදි තොරතුරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත වාර්තා කිරීමේ වැදගත්කම සහ අවශ්‍යතාව පිළිබඳවද අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මෙහිදී අදාළ නිලධාරීන්ගේ අවධානයට යොමු කළේය
