Spread the love

නිමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ 31 වන සංවත්සරය නිමිත්තෙන් Clean Sri Lanka ජාතික වැඩසටහන සමග ඒකාබද්ධව සංවිධානය කළ දිවයින පුරා තෝරාගත් රෝහල් 33ක තාක්ෂණ සහයෝගිතා ශ්‍රමදාන වැඩසටහන අද (17) දින සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි.

මෙහි ප්‍රධාන වැඩසටහන කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලේදී වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Gen Z පරපුරේ සහ වෘත්තීය ශිෂ්‍ය ප්‍රජාවගේ සක්‍රීය දායකත්වයෙන් සහ ස්වේච්ඡා මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වූ මෙම තාක්ෂණ සහයෝගිතා ශ්‍රමදාන වැඩසටහන මගින් රෝහල් පද්ධතියේ තාක්ෂණික අලුත්වැඩියා, විදුලි හා ජල නල පද්ධති නඩත්තුව, යටිතල පහසුකම් සංවර්ධනය සහ පරිසරය පිරිසිදු කිරීම සිදු කෙරිණි.

හුදෙක් සාම්ප්‍රදායික ශ්‍රමදානයකට සීමා නොවී, තරුණ පරපුර තමන් හදාරන ඉලෙක්ට්‍රොනික, විදුලි, ජල නල, ගොඩනැගිලි නඩත්තු, යාන්ත්‍රික හා තාක්ෂණික දැනුම රටේ පොදුජන සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම උදෙසා ප්‍රායෝගිකව යෙදවීම මෙහි විශේෂත්වයකි.

එසේම, පරිසර පිරිසිදුතාව, යහපත් ආකල්පමය වෙනස, රාජ්‍ය දේපළ සුරැකීම සහ තිරසාර ජාතික සංවර්ධනය උදෙසා තරුණ පරපුර සතු කැපවීම මෙන්ම රට ගොඩනැගීමේදී ඔවුන් “අවස්ථා සොයන්නන් නොව , අවස්ථා නිර්මාණය කරන්නන්” බවට පත්ව ඇති බව Clean Sri Lanka සංකල්පය පෙරදැරි කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

Clean Sri Lanka කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික, Clean Sri Lanka ලේකම් කාර්යාලයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් කපිල සෙනරත්, අධ්‍යක්ෂ (සමාජයීය) චින්තක රාජකරුණා, අධ්‍යක්ෂ (ස්වේච්ඡා සේවා) එච්.පී.එස්. ශාන්ත, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නිශාන්ත අල්විස්, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති විජිත වීරතුංග, උපසභාපති ටී. ධර්මරාජා, අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රියන්ත වීරසිංහ, වෘත්තීය පුහුණු අධ්‍යක්ෂ මිලින්ද , වෘත්තීය මාර්ගෝපදේශන, රැකියා ස්ථාපන හා ප්‍රවර්ධන අධ්‍යක්ෂ චන්දන විදානපතිරණ, නාරාහේන්පිට ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ සහකාර අධ්‍යක්ෂ භාතිය අමරනාත්, වෘත්තීය මාර්ගෝපදේශන හා ප්‍රවර්ධන නියෝජ්‍ය අධ්‍යක්ෂ සුමිත් කෝරාල යන මහත්වරු ඇතුළු පිරිසක්  මෙම අවස්ථාවට සහභාගී වූහ.