Spread the love

මාලන් විතාන –

ආපදා තත්ත්වයන් කල්තියා හඳුනාගැනීම මෙන්ම එවන් අවස්ථාවල මතුවන ගැටළු වලට සාර්ථකව මුහුණදීම සඳහා අවශ්‍ය දැනුම, කුසලතා ලබාදීම මෙන්ම අත්‍යාවශ්‍ය සම්පත් භාවිතාව සම්බන්ධ ප්‍රජාව සවිබලගැන්වීම අරමුණු කරගත් “Training of Trainers on Community Capacity and Resilience for Health Emergency Preparedness and Response (C3R)” විශේෂ පුහුණු වැඩසටහන අද (18) සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර වෛද්‍ය හර්ෂ සුරංග මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර Myst by Cinnamon හෝටලයේදී ආරම්භ කෙරිණි.

වර්තමානයේ ගෝලීය වශයෙන් විවිධ ආපදා තත්ත්වයන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන අතර, ශ්‍රී ලංකාවට ද පසුගිය කාලසීමාව තුළ විවිධ ස්වභාවික හා වෙනත් ආපදා තත්ත්වයන්ට මුහුණදීමට සිදුවිය. මෙවැනි ආපදා තත්ත්වයන්හිදී පළමුවෙන්ම
එම තත්ත්වයන්ට ගොදුරූ වනුයේ එම කලාප ආශ්‍රිත ප්‍රජාව වේ.

ඒ අනුව මෙම වැඩසටහනේ මූලික අරමුණ වනුයේ ප්‍රජාවට තම ප්‍රදේශයට ආවේණික ආපදා අවදානම් හඳුනාගැනීමට හැකිවන පරිදි දැනුවත් කිරීම, ආපදා අවස්ථාවන්වල දී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ පුහුණුව ලබාදීම, එවන් අවස්ථාවක දී ප්‍රජාව සවිබලගැන්වීම සහ අවශ්‍ය උපකරණ හා සම්පත් මනා ලෙස යොදා ගැනීම තුළින් ඔවුන්ගේ ආපදා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කිරීමයි.

මෙහි පළමු අදියර ලෙස මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අද පැවැත්වෙන සමාරම්භක පුහුණු වැඩසටහනට දිස්ත්‍රික්ක 10ක් නියෝජනය වන පරිදි තෝරාගත් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය, අධිකරණ සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ත්‍රිත්වය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන සඳහා ජාත්‍යන්තර මට්ටමින් යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ සහ ලෝක බැංකුව යටතේ ක්‍රියාත්මක වන වසංගත අරමුදලෙහි (The Pandemic Fund) සහයෝගය ද හිමි වේ.

“ප්‍රජාවේ ප්‍රතිරෝධී හැකියාව ශක්තිමත් කිරීම” (Strengthening Community Resilience) යන සංකල්පය මූලික කරගනිමින් පැවැත්වෙන මෙම වැඩසටහන් මාලාව අගෝස්තු 18 සහ 19 යන දෙදින තුළ මෙන්ම සැප්තැම්බර් 02 දිනද පැවැත්වීමට ඉහත ‌‌‌අමාත්‍යාංශ ත්‍රිත්වය සැලසුම් කර ඇත.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී එක් එක් ග්‍රාම නිලධාරී වසමට ආවේණික ආපදා අවදානම් සහ වෙනස් වන ආපදා තත්ත්වයන් පළමුව හඳුනාගැනීමට කටයුතු කෙරෙන අතර, ඉදිරි අදියරවලදී මෙම වැඩසටහන මුළු දිවයිනම ආවරණය වන පරිදි පුළුල් කිරීමට ද සැලසුම් කර තිබේ. ඒ අනුව සිවිල් සංවිධාන ඇතුළු අදාළ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් දිවයින පුරා ග්‍රාම නිලධාරී වසම් 1000 ක ප්‍රජා සාමාජිකයින් 20,000 ක් පමණ දැනුවත් කර පුහුණු කිරීමට අපේක්ෂා කෙරේ.

එමෙන්ම වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව එහි ප්‍රගතිය හා ප්‍රතිඵල සම්බන්ධයෙන් අඛණ්ඩ පසුවිපරම් වැඩසටහනක් ද ක්‍රියාත්මක වන අතර, මෙම කාර්යය වඩාත් සාර්ථකව ක්‍රියාත්මක කරන ග්‍රාම නිලධාරී වසම් ඇගයීමට ලක්කර ඇගයීමෙි ව්‍යාපෘතියක් ද ඉදිරියේදී ක්‍රියාත්මක වෙි.

මෙම පුහුණූ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා මෙරටට බලපෑ ස්වභාවික ආපදා සහ වසංගත තත්ත්වයන් වල දී ප්‍රජාවගේ දායකත්වය ඉහළින්ම පැවැතිය ද ඊට පූර්ව සුදානමක් නොතිබුන බව නිරීක්ෂණය වූ බව සඳහන් කලේය.

එවන් අවස්ථාවල දී සන්නිවේදන සබඳතා බිඳවැටීම හේතුවෙන් ගැටළු රැසක් මතු වූ බවත්, එවන් තත්ත්වයක දී නිවැරදි කර ගත යුතු තැන් බොහොමයක් පවතින බව අවබෝධ කර ගත යුතු බව ද පැවසීය.

දේශගුණික හා කාලගුණික විපර්යාස හේතුවෙන් සිදුවන ස්වභාවික අනතුරු වලට ලක්විය හැකි විභවය සහිත මුල් ම රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වන බවත්, අවිධිමත් අසංවිධානාත්මක සංවර්ධනය, අතිශය ස්වභාවික ක්‍රියාවලිවලට පටහැනිව කටයුතු කිරීම වැනි හේතු නිසා සිදුවන විපර්යාස තත්ත්වයන්ට මුහුණ දීමට එම ආපදා හදුනා ගැනීම, සැලසුම් සකස් කිරීම මෙන්ම ප්‍රජා ශක්ති නායකයින් ඒ සඳහා ශක්තිමත් කළ යුතු බව ද පැවසීය.

ඒ සදහා රජය කැපවී කටයුතු කරන බව මෙහිදී සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා ආපදා තත්ත්වයක දී උපරිම ප්‍රජා දායකත්වය අප රටවැසියන් තුළ පැවතීම ප්‍රශංසනීය තත්ත්වයක් බව ද පැවසීය.

ආපදා අනතුරු කල්තබා හදුනා ගැනීම ඉතා වැදගත් වන බවත්, එකම ස්ථානයක අනතුරු ආපදා අඛණ්ඩව සිදූ වෙනවා නම් ඒ පිළිබද වැඩි අවධානයක් යොමූ විය යුතු බව මෙන්ම එය නැවත සිදු නොවීමට වගබලා ගත යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම පුහුණු වැඩසටහන තුළින් අනාගතයේදී රටට මුහුණදීමට සිදුවිය හැකි විවිධ ආපදා තත්ත්වයන් හමුවේ ජීවිත හා දේපළ හානි අවම කරමින් වඩාත් ශක්තිමත් හා සාමූහිකව කටයුතු කරන ප්‍රජාවක් ගොඩනැගීමට හැකිවනු ඇත.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) II වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය ඇතුළු අදාළ අමාත්‍යාංශ ත්‍රිත්වය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.