නිමල් රාජපක්ෂ
කුතුහලය, ශාස්ත්‍රීය නිදහස සහ අඛණ්ඩතාව මත පදනම් වූ ශක්තිමත් පර්යේෂණ සංස්කෘතියක් රට තුළ නිර්මාණය විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
රත්මලාන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) පැවැති 19 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය.
අර්බුදවලින් මිදී යථා තත්ත්වයට පත්වන අනාගතයක් වෙනුවෙන් පාලනය, යටිතල පහසුකම් සහ නවෝත්පාදනය යළි සිතා බැලීම මෙවර සමුළුවේ ප්‍රධාන තේමාවයි.
මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය, අර්බුදවලදී වඩාත්ම පීඩාවට පත්වන්නේ සමාජයේ අවදානමට ලක්වූ ප්‍රජාවන් බවත්, රටේ අනාගත ශක්තිමත්භාවය සියලු දෙනාම බලගන්වන සාධාරණ සමාජයක් මත පදනම් විය යුතු බවත් අවධාරණය කළාය. එමෙන්ම ස්වාභාවික ආපදා, මත්ද්‍රව්‍ය ජාවාරම සහ මතුවෙමින් පවතින අභියෝගවලට මුහුණ දිය හැකි පරිදි ජාතික ආරක්ෂාව පිළිබඳ සංකල්පය පුළුල් විය යුතු බවත්, ‘දිට්වා’ සුළි කුණාටුව වැනි ආපදා අවස්ථාවලදී ත්‍රිවිධ හමුදාව දැක්වූ දායකත්වය අගය කරන බවත් ප්‍රකාශ කළාය.
විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අභියෝගාත්මක ප්‍රශ්න ඇසීමට සහ බුද්ධිමය සීමා පුළුල් කිරීමට පර්යේෂකයන්ට ඉඩ තැබිය යුතු බව සඳහන් කළ අග්‍රාමාත්‍යතුමිය, කෘත්‍රිම බුද්ධිය වැනි තාක්ෂණයන් භාවිතය සීමා නොකර එහි සදාචාරාත්මක හා සමාජීය බලපෑම හඳුනාගෙන විවේචනාත්මක චින්තනය වර්ධනය කරගත යුතු බවද පැවසුවාය.
ශ්‍රී ලංකාව වෙනත් රටවල තාක්ෂණය හුදෙක් භාවිතා කරන්නෙකු ලෙස නොසිට දේශීය ප්‍රමුඛතාවන්ට අනුව නවෝත්පාදනයන් සිදු කරමින් ගෝලීය දැනුමට දායක විය යුතු බවද අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා, KDU උපකුලපති රියර් අද්මිරාල් එච්.ජී.යූ. දම්මික කුමාර යන මහත්වරුන් ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විද්වතුන් සහ පර්යේෂකයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
