Spread the love

නිමල් රාජපක්ෂ-


ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ඩිජිටල් මාධ්‍ය සහ මහජන සම්බන්ධතා ප්‍රචාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.


ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ නැවතත් ශක්තිමත් ලෙස ස්ථානගත කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් වේ. ඒ සඳහා ශ්‍රී ලංකා සංචාරක සන්නාමය ප්‍රවර්ධනය කිරීම, ඩිජිටල් කතාන්දර හරහා ඉලක්කගත සංචාරකයන් සමඟ සම්බන්ධතා ගොඩනැගීම සහ මහජන සම්බන්ධතා ප්‍රචාරණ වැඩසටහන් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.


විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සුවිශේෂී සංචාරක අත්දැකීම් හා සංචාරක නිෂ්පාදන ජාත්‍යන්තරයට හඳුන්වා දීම මෙහිදී සිදු කෙරේ. පරිසර සංචාරක, සුඛෝපභෝගී සංචාරක, වික්‍රමාන්විත සංචාරක සහ සංස්කෘතික සංචාරක ක්ෂේත්‍ර ඒ අතර ප්‍රධාන වේ.
මෙම ප්‍රචාරණ වැඩසටහන සඳහා මුද්‍රිත මාධ්‍ය, අන්තර්ජාල මාධ්‍ය සහ විකාශන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට අපේක්ෂා කෙරේ. ඒ සඳහා මාධ්‍යවේදීන්, බලපෑම්කරුවන්, සංචාරක නියෝජිතයන්, සංචාරක සංවිධායකයන්, කර්මාන්ත නායකයන් සහ නිතර සංචාරය කරන පිරිස් ඇතුළු විවිධ ඉලක්කගත කණ්ඩායම් සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර තිබේ.


විශේෂයෙන් වයස අවුරුදු 18ත් 35ත් අතර තරුණ සංචාරකයන්, සුවතා හා ජීවන රටා පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස්, සමාජ මාධ්‍ය භාවිත කරන්නන්, වික්‍රමාන්විත සංචාරකයන්, ස්වභාවධර්මයට හා සංස්කෘතියට ආදරය කරන සංචාරකයන් මෙන්ම සුඛෝපභෝගී සංචාරකයන් ද ඉලක්ක කර ගනිමින් ඩිජිටල් ප්‍රචාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.


ඩිජිටල් අලෙවිකරණ උපායමාර්ග යටතේ විද්‍යුත් තැපැල්, සෙවුම් යන්ත්‍ර සහ සමාජ මාධ්‍ය ඇතුළු විවිධ ඩිජිටල් වේදිකා භාවිත කිරීමටත්, වැඩසටහන්වල කාර්යසාධනය තත්‍ය කාලීනව අධීක්ෂණය කර දත්ත හා විශ්ලේෂණ මත පදනම්ව ප්‍රචාරණ වැඩසටහන් තවදුරටත් ප්‍රශස්ත කිරීමටත් අවධානය යොමු කර ඇත.


මෙහි ප්‍රධාන අපේක්ෂාව වන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර දැනුවත්භාවය ඉහළ නැංවීම, සංචාරකයන්ගේ පැමිණීම සඳහා වැඩි උනන්දුවක් ඇති කිරීම සහ ශ්‍රී ලංකාව ලොව ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස තවදුරටත් ස්ථානගත කිරීමයි.
මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයට ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ වැඩි බලපෑමක් ඇති කරමින් ශ්‍රී ලංකාවේ සංචාරක සන්නාමය ලොව පුරා ප්‍රචලිත කිරීමට අපේක්ෂා කෙරේ.