Spread the love

නිමල් රාජපක්ෂ-

අගොස්තු 30 වන දිනට යෙදී ඇති බලහත්කාරයෙන් අතුරුදහන් කළ පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනයට සමගාමීව යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල අතුරුදහන් පවුල් කිහිපයක් වෙත ගොස් රජය විසින් ඔවුන්ට ලබා දෙන පුනර්ජීවන දීමනාව ලබාදීමට සහ ඔවුන්ගේ පවුල්වල සුවදුක් විමසීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා තීරණය කර ඇත.

ඒ යටතේ කිලිනොච්චිය, ඉරණමඩු පාර කණගාම්භිහීකුලම් ප්‍රදේශයේ අතුරුදහන් පවුලක් වෙනුවෙන් පුනර්ජීවන දීමනාව ලබාදීමට අදාළ සහතිකපත් භාරදීම අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ සිදු විය. එහිදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යතුමා මෙම අදහස් පළ කළේය.


ඉරණමඩු පාර කණගාම්භිහීකුලම් ප්‍රදේශයේ ෂන්මුගම් මහතාගේ දියණියන් දෙදෙනා 2009 වර්ෂයේදී අතුරුදහන්ව ඇති අතර , ඒ වෙනුවෙන් වු පුනර්ජීවන දීමනාව ලබාදීම සිදු විය.


අතුරුදහන් පවුලේ සාමාජිකයින්ගේ සුවදුක් වීමසීමට ඔවුන් මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් අමාත්‍යතුමා සාකච්ඡා කළේය.
අතුරුදහන් වු පවුල්වල සාමාජිකයින්ට ඔවුන්ගේ ජීවන තත්වය උසස් කරමින් ආර්ථිකමය වශයෙන් ශක්තියක්වීමේ අරමුණින් යුතුව පුනර්ජීවන දීමනාව අතුරුදහන් වු තැනැත්තන් පිළිබදව කාර්යාලය විසින් ලබාදීම සිදු කරනු ලබයි.


අතුරුදහන් වු තැනැත්තන් වෙනුවෙන් වත්මන් රජය විසින් සිදු කරනු ලබන සහ මේවන විට සිදු කර ඇති කාර්යභාරය අමාත්‍යතුමා විසින් එම පවුල්වල සාමාජිකයින්ව දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.

පුනර්ජීවන දීමනාව ලබාදීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.
අතුරුදහන් වු තැනැත්තන් සම්බන්ධයෙන් තවත් පැමිණිලි 11 දහසක් විමර්ශනය කිරීමට තිබෙනවා. අතුරුදහන් වු තැනැත්තන් වෙනුවෙන් සාධාරණයක් අවශ්‍යයි. අද දින පුනර්ජීවන දීමනාව ලබන මේ දෙමාපියන්ගේ දියණියන් දෙදෙනා 2009 වසරේදී අතුරුදහන්ව තිබෙනවා. ඒ ජීවිතවල වටිනාකම මුදලින් තක්සේරු කරන්න බැහැ. නමුත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් ආර්ථිකමය වශයෙන් ශක්තියක් විය යුතුයි. කිලිනොචිචිය හා මුලතිව් දිස්ත්‍රික්කවල අතුරුදහන් වු තැනැත්තන් සම්බන්ධයෙන් පැමිණිලි 200 ක් විමර්ශනය කිරීමට තිබෙනවා. එම පැමිණිලි සම්න්ධයෙන් විමර්ශන මේ වසර වන විට අවසන් කරනවා. පසුගිය කාලය තුළ අතුරුදහන් වු තැනැත්තන් පිළිබදව වු කාර්යාලය සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති තත්වයක් තිබුණා. නමුත් වර්තමාන රජය යටතේ මේ වන විට එම කාර්යාලයේ කටයුතු පිළිබදව ජනතා විශ්වාසය ඇතිව තිබෙනවා. එම කාර්යාලය සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති නිසාම අතුරුදහන් වු පුද්ගලයින් සම්බන්ධව පැමිණිලි ලබා දුන්නනේ නැහැ. එසේ පැමිණිලි ඉදිරිපත් නොකළ අය සිටීනම් පැමිණිලි කරන ලෙස ඉල්ලා සිටින බව ද අමාත්‍යතුමා සදහන් කළේය.
අතුරුදහන් වු පවුල් වෙතම ගොස් ඔවුන්ට හිමි පුනර්ජීවන දීමනාව ලබාදීමට සහ ඔවුන්ගේ පවුල්වල සුවදුක් විමසීමට අධිකරණ අමාත්‍යවරයෙකු එම ජනතාව හමුවු පළමු අවස්ථාව මෙයයි.
මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කේ. ඉලංකුමාරන්, කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් එස්. මුරලිදරන්, අතුරුදහන් වු තැනැත්තන් පිළිබදව කාර්යාලයේ කිලිනොච්චිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ නිලධාරී ක්‍රිශාන්ති රත්නායක යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.