නිමල් රාජපක්ෂ-
ඔස්ට්‍රේලියාවේ Market Development Facility (MDF) ආයතනය, හෝටල් ජාලයක් වන Thema Collection සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ සුවතා සංචාරක සේවා ශක්තිමත් කිරීම සහ නව වෙළෙඳපොළ වෙත ව්‍යාප්ත කිරීම සඳහා ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට “ශ්‍රී ලංකාව තිරසර සුවතා ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීම” යන සංසදය පවත්වා තිබේ.
මෙහිදී ශ්‍රී ලංකාවේ සුවතා සංචාරක ක්ෂේත්රයේ තරගකාරීත්වය ඉහළ නැංවීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ගරු (මහාචාර්ය) රුවන් රණසිංහ, ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස් රූත් බෙයාර්ඩ්, රජයේ නියෝජිතයන්, කර්මාන්ත ක්ෂේත්රයේ ප්‍රධානීන් සහ විද්වතුන් එක්ව තිබේ. ජපානයේ පිටතට යන සුවතා සංචාරක වෙළෙඳපොළ පිළිබඳ MDF ආයතනය සිදුකළ අධ්‍යයනයේ තොරතුරු ද මෙහිදී ඉදිරිපත් කර ඇත.
ගෝලීය ප්රවණතා අනුව සංචාරකයන් වැඩි වශයෙන් සත්‍ය අත්දැකීම්, සුවතාව, ස්වභාවධර්මය, සංස්කෘතිය සහ තිරසරභාවය කේන්ද්‍ර කරගත් ගමනාන්ත සොයමින් සිටී. ශ්‍රී ලංකාවේ ආයුර්වේද භාවිතයන් වසර 2,000කට වැඩි කාලයක් පුරා මෙරට ස්වදේශීය සුවතා හා වෛද්‍ය උරුමයේ කොටසක් වී තිබේ. මේ හේතුවෙන් සංචාරකයන්ගේ ආකර්ෂණය ශ්‍රී ලංකාව වෙත වැඩි වෙමින් පවතින අතර, 2026 BookRetreats Wellness Destination Index හි ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානයට පත්ව තිබේ.
මෙහි ප්‍රධාන දේශනය සිදුකරමින් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ගරු (මහාචාර්ය) රුවන් රණසිංහ මහතා රජයේ කැපවීම අවධාරණය කළේය.
“ශ්‍රී ලංකාවට ලෝකයේ පිළිගත් සුවතා ගමනාන්තයක් බවට පත්වීමට අවශ්‍ය සියලු අංග තිබේ. අපගේ ආයුර්වේද උරුමයේ සිට සංස්කෘතිය සහ ආගන්තුක සත්කාරය දක්වා එම ශක්තීන් පවතී. නිවැරදි ප්‍රතිපත්ති පරිසරයක් නිර්මාණය කිරීම සහ රජය හා කර්මාන්ත ක්ෂේත්රය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම අපගේ අවධානය යොමුකරන කරුණු වේ. එමඟින් සුවතා සංචාරක කර්මාන්තය ආයෝජන, වෙළෙඳපොළ විවිධාංගීකරණය සහ තිරසර ආර්ථික වර්ධනය සඳහා වැදගත් බලවේගයක් බවට පත් කළ හැකිය.”
දැනට දේපළ 17ක් සහ ආයුර්වේද දේපළ 2ක් ඇතුළත් Thema Collection හෝටල් ජාලය සිය තිරසරභාවය පිළිබඳ අත්දැකීම් ද මෙහිදී බෙදාගෙන ඇත. වගකීම් සහගත ව්‍යාපාරික භාවිතයන් මඟින් අමුත්තන්ගේ අත්දැකීම් වැඩිදියුණු කිරීම මෙන්ම දිගුකාලීන ව්‍යාපාරික ස්ථාවරත්වය සහ ගමනාන්තයේ තරගකාරීත්වය සඳහා දායක විය හැකි ආකාරය පිළිබඳව එහිදී අවධානය යොමුකර තිබේ.
Thema Collection හි සභාපති චන්ද්‍ර වික්‍රමසිංහ මහතා සඳහන් කළේ සුවතාව සහ තිරසරභාවය වෙන් කළ නොහැකි කරුණු දෙකක් බවයි.
“අපි විශ්වාස කරන්නේ සුවතාව සහ තිරසරභාවය එකිනෙකින් වෙන් කළ නොහැකි බවයි. සැබෑ සුවතා අත්දැකීම් ආරම්භ වන්නේ සෞඛ්‍ය සම්පන්න පරිසර පද්ධති, දියුණු වෙමින් පවතින ප්‍රජාවන් සහ දේශීය උරුමයට ගරු කිරීම තුළිනි. අපගේ මෙහෙයුම්වල සෑම අංශයකටම තිරසරභාවය ඇතුළත් කිරීම තුළින් අපගේ අමුත්තන් සඳහා අර්ථවත් අත්දැකීම් නිර්මාණය කරනවා පමණක් නොව, ශ්‍රී ලංකාව ලෝක මට්ටමේ සුවතා ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමට ද දායක වෙමු.”
MDF ආයතනය විසින් ජපානයේ පිටතට යන සුවතා සංචාරක වෙළෙඳපොළ පිළිබඳ මෑතකදී සිදුකළ ඇගයීමේ ප්‍රතිඵල ද මෙහිදී ඉදිරිපත් කර තිබේ. එහිදී සංචාරකයන්ගේ පෙළඹවීම් සහ වර්ධනය වෙමින් පවතින සුවතා පිළිබඳ අවධානයක් ඇති සංචාරක කණ්ඩායම වෙත ප්‍රවේශ වීම සඳහා ඇති අවස්ථා පිළිබඳව අවධානය යොමුකර ඇත.
එමෙන්ම, සුවතා සංචාරක අත්දැකීම් පිළිබඳව කටයුතු කිරීමෙන් අනතුරුව රජය, කර්මාන්ත ක්ෂේත්රය සහ සංවර්ධන හවුල්කරුවන් අතර සහයෝගීතාවයේ කාර්යභාරය පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවකට ද සහභාගි වී තිබේ.
ඔස්ට්‍රේලියාව, MDF හරහා සංචාරක හවුල්කරුවන් සමඟ එක්ව තිරසර සංචාරක ව්‍යාපාරය තරගකාරීත්වයට සහ ඔරොත්තු දීමේ හැකියාවට මාර්ගයක් ලෙස ශක්තිමත් කිරීමට කටයුතු කරයි. MDF විසින් සුවතා සංචාරක ව්‍යාපාරය සාම්ප්‍රදායික මූලාශ්‍ර වෙළෙඳපොළවලින් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාව සෘතුමය ගමනාන්තයක සිට වසර පුරා සංචාරකයන් ආකර්ෂණය කරන ගමනාන්තයක් බවට පත් කිරීමට හැකි මාර්ගයක් ලෙස හඳුනාගෙන තිබේ. ජපානය, ඔස්ට්‍රේලියාව සහ මැදපෙරදිග වැනි නව වෙළෙඳපොළවලින් සුවතා සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට හවුල්කරුවන්ට සහාය වීම ද ඊට ඇතුළත්ය.
MDF ආයතනය Thema Collection සමඟ එක්ව එහි කාබන් පියසටහන ඇගයීමට ආයෝජනය කර ඇති අතර, ශ්‍රී ලංකාවේ ස්වාධීනව සත්‍යාපනය කළ, සමස්ත දේපළ පුරා සිදුකරන කාබන් ගණනය කිරීම් සම්පූර්ණ කළ පළමු හෝටල් ජාල අතරින් එකක් බවට Thema පත්ව තිබේ. පරිසර ආරක්ෂාව, ප්‍රජා සහාය සහ වගකීම් සහගත සංචාරක ව්‍යාපාරය කෙරෙහි අවධානය යොමුකරමින් තිරසර වැඩසටහන් ද Thema Collection විසින් ක්‍රියාත්මක කරයි.
මෙරට ස්වභාවික හා සංස්කෘතික ශක්තීන් මත පදනම්ව නව සුවතා අත්දැකීම් සංවර්ධනය කිරීම සඳහා ද නව ක්‍රමවේද සොයා බලමින් සිටින බව එම ආයතනය පවසයි.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස් රූත් බෙයාර්ඩ් මහත්මිය සඳහන් කළේ, සත්‍යතාව, සුවතාව සහ තිරසරභාවය ඒකාබද්ධ කරන ගමනාන්ත සංචාරකයන් වැඩි වශයෙන් තෝරා ගනිමින් සිටින බවයි.
“විශේෂයෙන් සංචාරක ක්ෂේත්රයේ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සහාය වීම සඳහා ඔස්ට්‍රේලියාව ස්ථිර හවුල්කරුවෙකු ලෙස කටයුතු කරයි. MDF හරහා අපි ව්‍යාපාර සමඟ එක්ව ඔවුන්ගේ තිරසර භාවිතයන් වර්ධනය කිරීමට, තරගකාරීත්වය වැඩි කිරීමට සහ වෙනස් වන ගෝලීය ඉල්ලුමට ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරමින් සිටිමු.
සුවතා සංචාරක ව්‍යාපාරය ශ්‍රී ලංකාව වෙත සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමටත්, ආර්ථික අවස්ථා උත්පාදනය කිරීමටත් අවස්ථාවක් සපයන අතරම, ශ්‍රී ලංකාවට සුවිශේෂීත්වයක් ලබාදෙන ස්වභාවික හා සංස්කෘතික වත්කම් ආරක්ෂා කිරීමට ද හැකියාව ලබා දෙයි. අද වැනි සංසද අදහස් හුවමාරු කර ගැනීමට, හවුල්කාරීත්වයන් ගොඩනැඟීමට සහ දේශීය වශයෙන් මෙහෙයවෙන, දිගුකාලීනව තිරසර විසඳුම් නිර්මාණය කිරීමට අවශ්‍ය ප්‍රායෝගික ක්‍රියාමාර්ග හඳුනා ගැනීමට වැදගත් වේදිකාවක් සපයයි.”
ශ්‍රී ලංකාව සිය සංචාරක පිරිනැමීම් විවිධාංගීකරණය කරමින් වෙනස් වෙමින් පවතින ගෝලීය වෙළෙඳපොළ තුළ තරග කිරීමට උත්සාහ කරන අවස්ථාවක, මෙම සාකච්ඡාව මඟින් සුවතා සංචාරක ව්‍යාපාරය හුදෙක් සීමිත වෙළෙඳපොළක් නොවන බව අවධාරණය කර තිබේ. එය ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ප්‍රදර්ශනය කිරීමට, ඉහළ වටිනාකමක් සහිත සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට සහ ව්‍යාපාර හා ප්‍රජාවන්ට ප්රතිලාභ සැලසෙන තිරසර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට අවස්ථාවක් බවද එහිදී පෙන්වා දී තිබේ.
