Spread the love

නිමල් රාජපක්ෂ-

2026 සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුව (Global Conscious Food Systems Summit – GCFSS) සඳහා අගෝස්තු 31 සිට සැප්තැම්බර් 04 දක්වා භූතානයේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ඊයේ (05) යළි දිවයිනට පැමිණියාය.

සිය නිල සංචාරය අතරතුර අග්‍රාමාත්‍යතුමිය භූතානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් අග්‍රාමාත්‍යතුමිය ජිග්මේ ඛේසාර් නම්ගියෙල් වංචුක් (Jigme Khesar Namgyel Wangchuck) රජතුමාණන් හමු වූ අතර, භූතාන අග්‍රාමාත්‍ය දාශෝ ත්සේරින්ග් තොබ්ගේ (Dasho Tshering Tobgay) මහතා සහ අධ්‍යාපන හා කුසලතා සංවර්ධන අමාත්‍ය යීසං දේ තපා (Yeezang De Thapa) මහත්මිය සමඟ ද ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූවාය. අනතුරුව අග්‍රාමාත්‍යතුමිය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් සහ අනෙකුත් ජාත්‍යන්තර පාර්ශවකරුවන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයින් සමඟ ද සාකච්ඡා පැවැත්වූවාය.

අගෝස්තු 31 සිට සැප්තැම්බර් 05 වන දින දක්වා භූතානයේ සිදුකළ නිල සංචාරය නිමා කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය භූතානයේ Royal Bhutan Airlines – KB 200 ගුවන් යානයෙන් යළි දිවයින බලා පැමිණියාය

මෙම භූතාන නිල සංචාරය අතරතුර අග්‍රාමාත්‍යතුමිය තිම්පුහි තාෂිචෝ ඩ්සොං විහාරස්ථානය වැද පුදා ගැනීමට මෙන්ම රාජකීය රෙදිපිළි කෞතුකාගාරය, සෙම්ටොකා ඩ්සොං බලකොටුව, පාරෝහි භූතාන ජාතික කෞතුකාගාරය නැරඹීමටද එක් වූවාය.

ශ්‍රී ලංකාව සහ භූතානය අතර පවතින ද්විපාර්ශවීය සබඳතා සහ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් අධ්‍යාපනය, සංස්කෘතිය, පරිසරය, තිරසාර සංවර්ධනය සහ ජනතාව අතර සබඳතා ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා මෙම සංචාරය වැදගත් අවස්ථාවක් විය.